Gossip chat with Suwani Jayawardane

Views
අයුතු යෝජනා ඇවිත් තියෙනවා - කෙනා ළංවෙන කොට දැනගන්න පුළුවන් මොකාටද එන්නේ කියලා



සුවනි ජයවර්ධන.... පාසල් වේදිකාවෙන් වේදිකා නාට්‍ය කලාවට පිවිස ඉන් අනතුරුව රංගනයට පිවිසි සුවනි මේ වන විට ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වී සිටිනවා.  ජනප්‍රිය වේදිකා නාට්‍ය කිහිපයකම චරිත නිරූපණය කළ සුවනි ජයවර්ධන සමග සිරසගොසිප් කළ සාකච්ඡාවයි මේ. 

සුවනි කොහොමද ජීවිතේ
ම්ම්ම්... ගොඩක් සතුටින් ජීවිතය ගෙවීගෙන යනවා. 

ඉතින් අපි කැමැතියි ඔයා කවුද කියලා හඳුනගන්න.
මම සුවනි ජයවර්ධන... මගේ ගම කඩවත. මම පාසල් ගියේ කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයට. මගේ පවුලේ අම්මා, තාත්තා සහ පොඩි මල්ලියෙක් ඉන්නවා. දැනට මගේ පියා නම් විදේශගත වෙලා ඉන්නේ. එසේම මේ වන විට මම ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධය උපාධි පාඨමාලාවක් හදාරමින් සිටිනවා විවෘත විශ්වවිද්‍යාලයේ. ඒ අතරතුර තමයි රංගන කටයුතුවල නියැලෙන්නේ. 

කොහොමද රංගන කටයුතු මේ දවස්වල
දැනට මාස එක හමාරක විතර කාලයකින් මම රංගනයට දායක වුණේ නැහැ. මම මුලින්ම රංගනය ආරම්භ කළේ වේදිකාවෙන්. වේදිකාවෙන් රංගනය ආරම්භ කරලා දැනට අවුරුදු එක හමාරක් විතර වෙනවා. රංගනය, කලාව හොඳයි... හරි ආදරය හිතෙනවා කලාවට. ඉදිරියේදී හොඳ නිර්මාණවලට දායකත්වය ලබාදීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

කොහොමද රංගනයට යොමු වෙන්නේ. 
මං පාසල් කාලයේ සිටම වේදිකා නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. පාසල් කාලයේ සිට වේදිකා නාට්‍යවලට යොමු වන විට මගේ මවගේ යෙහෙළියක් නිසා මට ටෙලි නාට්‍යයක විකට චරිතයකට පණ පොවන්න අවස්ථාව ලැබෙනවා. ඒ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වීමෙන් පසුව ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබුණා. දැනට මම සෑහීමකට පත්වෙන ප්‍රමාණයක් ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වෙලා තියෙනවා මේ පුංචි කාලය තුළ. 

මේ කටයුතුවලට ලැබෙන සහයෝගය ගැන කිව්වොත්.
මගේ ආදරණීය අම්මා තමයි පොඩි කාලේ ඉඳන්ම මගේ ළඟම ඉඳන් උදව් කළේ. එසේම රංගනයේ නිරත වන කාලය තුළදී ගොඩක් ප්‍රවීණයන් ඇසුරු කිරීමට හැකියාව ලැබුණා. ඔවුන්ගෙන් ගොඩක් ගුරුහරුකම් ලැබුණා. ඒවා මට ගොඩක් දායක වුණා මගේ ගමන යන්න. 

ඔබ මේ වන විට දායක වී සිටින වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය ගැන කතා කළොත්...
මේ දවස්වල නම් වේදිකා නාට්‍යවලට සහභාගි වෙලා නැහැ. මොකද මම අධ්‍යාපන කටයුතුවලට යොමු වෙලා ඉන්න නිසා. ලැබෙන සුළු වෙලාවල්වල සහභාගි වෙනවා. ඒත් මම වේදිකා නාට්‍ය කිහිපයකම මං රංගනයෙන් දායක වෙලා තියෙනවා. ප්‍රියන්ත කහපොළආරච්චි සර් තමයි මගේ මුල් ගුරුතුමා. රජ හොරු වේදිකා නාට්‍යයෙන් තමයි මුලින්ම වේදිකා නාට්‍ය ගමන පටන් ගත්තේ. ඊට පසුව වේදිකා  නාට්‍ය කිහිපයකටම රංගනයෙන් දායක වුණා. ටෙලි නාට්‍ය ගැන කියනවා නම් මම සෙවණැලි, සිකුරු භවන, ජයලත් මනෝරත්න සර්ගේ ටෙලි නාට්‍යයකට දායක වෙලා ඉන්නවා වගේම දැනට රූපවාහිනියේ විකාශය වන චුට්ටේ ටෙලි නාට්‍යයටත් රංගනයෙන් දායක වෙලා ඉන්නවා. ඒ වගේම ඉදිරියේදී තවත් ටෙලි නාට්‍ය කිහිපයකට රංගනයෙන් දායක වීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. 

රංගනයෙන් ඉටු කර ගැනීමට බලාපොරොත්තුවන දේ මොකක්ද?
මම රංගන ජීවිතයේ එක රාමුවකට කොටු වෙලා ඉන්න කැමති නැහැ. එකම චරිතයක් කරලා. මම කැමැතියි විවිධ චරිත රඟපාන්න. ඒ අතරින් ප්‍රේක්ෂකයා වැළඳගන්න පුළුවන් ඉතාමත් හොඳ චරිත තියෙනවා. එවැනි චරිතයක් රඟපාන එක මගේ හීනයක්. එවැනි චරිතයක් ලැබුණොත් ඒක මං මගේ උපරිමයෙන්ම කරනවා. 

රංගන ශිල්පිනියක් විදිහට පසුගිය කාලයේ ඔබ නිහඬව සිටීමට හේතුව කුමක්ද?
ප්‍රධාන වශයෙන්ම මං අධ්‍යාපන කටයුතුවලට මගේ කාලයෙන් වැඩි කොටසක් වැය කරනවා. ඒ වගේම මෑත කාලයේදී මට ගැටලු කිහිපයක් ආවා. ඒ වගේම කලාව ඇතුලේ තියෙන දෙයක් නිසා කලකිරීමක් වගේ දෙයක් ඇති වුණා. ඒත් දැන් ඒ ගැන වැඩි තැකීමක් නෑ. ඉදිරියේදී මං දිගටම ක්ෂේත්‍රයේ නිරත වනවා. 

සුවනි, රංගන ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යද්දි ඔබට අයුතු යෝජනා එහෙම ඇවිත් නැද්ද?
ම්ම්ම්... ඒවගේ යෝජනා කලාව ඇතුළෙදි පමණක් නෙවෙයි සෑම  තැනකදීම තරුණියක් විදිහට බලාපොරොත්තු වෙන්න පුළුවන්. කලාව ඇතුළේ එහෙම දේවල් තියෙනවා කියලා දන්නවා. එවැනි යෝජනා ඇවිත් තිබෙනවා. නමුත් ආශ්‍රය කරන්න කරන්න පුද්ගලයන් අපි ඇසුරු කරනවා. ඒගොල්ලන්ගෙන් අවබෝධ වෙනවා ඒ පුද්ගලයා මොන වගේ දේකටද මේ අපට ලංවෙන්නේ කියලා. ඒ අනුව අපිට පුළුවන් ඒ කෙනා කොහොම කෙනෙක්ද කියලා අඳුනගෙන ඒ තුළින් ඔහු ඇසුරු කරනවාද නැත්ද යන්න පිළිබඳ තීරණ ගන්න පුළුවන්. මොකද ඒතුළින් අපිට පුළුවන් එයාලාගෙන් එන එවැනි යෝජනා බැහැර කිරීමට පුළුවන් මොකද එවැනි මිතුරන් අපට අපේ ජීවිතේට අවශ්‍ය නැති නිසා ඔවුන්ව ඉවත් කරන්න පුළුවන්. එසේම අපේ සමහර යාළුවෝ වගේ ඉන්න පිරිසකුත් ඉන්නවා අපිව වැරදි තැන්වලට යොමු කරන්න බලාගෙන ඉන්නවා. මොකද එයාලට දරාගන්න බැහැ මං යන ගමන දිහා. ඉතින් මාව අමාරුවේ දාන්න හදන පිරිසකුත් ඉන්නවා. දැනටත් බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් මං ඒ ගොල්ලන්ට වෛර කරන්නේ නැහැ. 

නිදහසේ ඉද්දි මොකද කරන්නේ. 
විනෝදාංශයක් විදිහට මං කරන්නේ පොතක් ලියන එක. මේ දවස්වල පොතක් ලියනවා. 

ආදරය ගැන මොකද හිතෙන්නේ. 
මං තවම අම්මගේ තාත්තාගේ සහ මගේ පුංචි මල්ලිගේ ආදරය ලබමින් සිටිනවා. ආදරය කියන දේට මිනිස්සු එක එක අර්ථ කථන දෙනවා. සුන්දරයි කියනවා, මිහිරියි, වේදනාබරයි කියනවා... ඉතින් ඒවා ඒ අයගේ අත්දැකීම්... මට ඒ වගේ ආදරයක් ලැබුණු දවසක මමත් අර්ථකථනයක් අනිවාර්යයෙන්ම සිරසගොසිප් හරහා ඔයාලට කියන්නම්. 

දැනට පෙම්වතියක්ද?
මම දැනට පෙම්වතියක් නෙවෙයි. මගේ අම්මාගේ තාත්තාගේ සහ දඟම දඟ මල්ලිගේ ආදරය ලබමින් ඉන්නේ. 

රංගනයේදි දකින්න අකමැතිම දේ මොකක්ද?
රංගන ක්ෂේත්‍රයේ දකින්න අකමැතිම දේ තමයි රංගනය ගැන කලාව ගැන හයක් හතරක් දන්නේ නැති මිනිස්සු කලාවට බණිනවා, නළු නිළියන්ට බනිනවා. කලාව හෑල්ලුවට ලක් කරනවා. මේ කලාව තුළ තියෙන කලාත්මක රසය ගොඩක් අය හුදෙක් උපහාසයට ලක් කරනවා. මං ඒ දේට කැමතිම නැහැ. කලාවට ගරහන පුද්ගලයින් සමග ආශ්‍රයත් මං පිළිකුල් කරනවා. 

සුවනි රංගනය ගැන අධ්‍යාපනයක් ලබාගෙන තිබෙනවද?
මං උසස් පෙළට නාට්‍ය හා රංග කලාව කියන විෂය හදාරලා තමයි මං වේදිකාවට එන්නේ. වේදිකාවෙත් මං සෑහෙන්න කාලයක් ඉඳල තමයි මං රූපවාහිනි ටෙලි නාට්‍යවලට සහභාගි වෙන්නේ. 

උදව් කරපු අය ගැන කතා කළොත්. 
මගේ මේ ගමන සාර්ථක කර ගන්න උදව් කරපු අය ගොඩක් ඉන්නවා. ඒ අය ගැන නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක් දෙනෙක් කියන්න ඕනි. එහෙම කියලා එක් අයෙක්ගේ හරි නමක් මග හැරුණොත් ඒක එයාට දුකක් දැනෙයි. ඒ නිසා මං නම් වශයෙන් නැතිව මට උදව් කරපු හැමෝටම ස්තුතියි කියන්න මං මේක අවස්ථාවක් කර ගන්නවා. ඒ වගේම මගේ මේ ගමන වළක්වන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා... ඔවුන් මට උදව් කරන්න වගේ ඇවිත් මගේ ගමනට හරස් කපනවා. පුංචි කාලයේදී රූපවාහිනිය ඉස්සර ඉඳන් දෙබස් කියපු පුංචි කෙල්ල අද වන විට යම් තාක්තැනකට ඇවිත් ඉන්නවා. ඒ ගැන මට සතුටුයි.

ඔබ කිව්වා ඔයාගේ ගමනට බාධා කරන අය ඉන්නවා කියලා. ඔවුන්ට මොකද කියන්නේ. 
මෙහෙමයි... එයාලාට කියන්න තියෙන්නේ ඉතින් මං තවමත් ශක්තිමත්... මට තනිවම ගමනක් යන්න පුළුවන්. මගේ ගමන යන්න මට මගේ අම්ම තාත්තා ඉන්නවා. මට මේ ගමන තවත් ඉදිරියට හෙමින් හෙමින් තවත් සාර්ථකත්වයට යන්න පුළුවන් මට.













Gossip chat with Suwani Jayawardane Gossip chat with Suwani Jayawardane Reviewed by Admin on 12:10 PM Rating: 5

No comments:

Powered by Blogger.