Chat with Music Video Director Shaa Viraj

Views
සුදු අඳින හැමෝම සිල්වත්තුත් නෙවෙයි.... ඇඳුම් ගලවන හැමෝම ගණිකාවොත් නෙවෙයි - ෂා විරාජ් කියයි


විවිධ ගීතවලට නිර්මාණය කෙරෙන රූප රචනා සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ මතුව ඇති කතා බහ තරමක් වැඩියි මේ වකවානුවේ. ඒ මේ වන විට ගීත රූපරචනාවලින් අධික ලෙස අඩනිරුවත් දර්ශන ප්‍රදර්ශනය කරන බවට චෝදනා එල්ලවීම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් සහ ඔහු ඇයි එවැනි නිර්මාණ කරන්නේ යන්න දැන ගැනීම සඳහා සිරසගොසිප් අප සම්බන්ධ කර ගත්තා නූතන පරපුරේ ජනප්‍රිය ගීත රූප රචනා අධ්‍යක්ෂවරයකු වන ෂා විරාජ්.... මේ ෂා විරාජ් සමග සිරසගොසිප් අප සිදු කළ සංවාදාත්මක සාකච්ඡාව ඇසුරෙන් සැකසූ ලිපියකි. 


ගීත රූප රචනාවලට මේ වන විට නිරුවත් සරාගී දර්ශන ඇතුළත් අඩනිරුවත් සරාගී දර්ශන ඇතුළත් කිරීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා. ඇයි ඔබත් ඒ පැත්තට යොමු වෙන්න තීරණය කළේ. 

ම්ම්ම්... හොඳ ප්‍රශ්නයක්... ඒකට කියන්න තියෙන්නේ මම මියුසික් වීඩියෝ කලාව ආවා... එක කාලයක් එක දිගට සාමාන්‍ය ආකාරයෙන් ආවා. නමුත් එකපාරටම ලංකාවේ ට්‍රෙන්ඩින් එක වෙනස් වුණා. ලංකාවේ මිනිස්සුන්ගෙන් ඒකට ලැබුණු ප්‍රතිචාරය වෙනස් ආකාරයේ එකක් වුණා. උදාහරණයක් විදිහට ඉන්දියාවේ ඕනෑම බොලිවුඩ් චිත්‍රපටයක සාමාන්‍යයෙන් හොට් සීන් එකක් හරි හොට් සෝන්ග් එකක් හරි හොට් ඩාන්සින් අයිටම් එකක් හරි අනිවාර්යයෙන් එනවා. ඒක මිනිස්සු ඇදලා ගන්න තමයි කරන්නේ. ඉතින් අපේ මිනිස්සු ඒක එන්ටර්ටේට්මන්ට් එකක් කියලා පිළිගන්න කැමැති නෑ. ඒකට කැමැති නෑ අපේ කට්ටිය. ඇත්තටම කියනවා නම් මේක සැබෑ ජීවිතේ නෙවෙයි.  
ඒ වගේම මම මේ පැත්තට යොමු වුණ එක ගැන කතා කළොත්.... ඇත්තටම මටත් හිතුණා වෙනස් විදිහෙ දෙයක් කරන්න. අපි හිතමු හොට් පොටෝ ෂූට් ලංකාවේ කරනවා. ඒ හොට් පොටෝ ෂූට්වලට ලංකාවේ ලොකු බැනුමක් එන්නේ නෑ. මොකද ඒක කලාවක්. නමුත් ඒක මියුසික් වීඩියෝවලට ඇතුළත් කළාම කලාවක් විදිහට දකින්නේ නෑ. දැන් අපි අපේ රටේ රජ කාලෙට ගියාම සීගිරියේ බිතුසිතුවම් දක්නට ලැබෙනවා. ඒ සීගිරියේ බිතුසුතුවම් වශයෙන් නිර්මාණය වෙලා තියෙන්නේ කාශ්‍යප රජතුමා දැකපු කලාවක් විදිහට වෙන්න ඇති. එක්තරා විදිහෙ කලාවක්. ඒ නිරුවත කියන දේ කලාවක් විදිහට ගන්න ඕන මිනිස්සු. ඒක ගන්නේ නැති එක තමයි ප්‍රශ්නෙ ලංකාවේ. 
ඉතින් මම මගේ සෑම වීඩියෝ එකකම නෙවෙයි, නමුත් ඉදිරියට එන වීඩියෝස්වල ඒ කලාව යොදනවා මම. මගේ ක්‍රමයට සහ අපිට යන්න පුළුවන් දුරක් අපි යන්න ඕන මේකේ... මොකද සිනමාව තියෙනවා අපේ... ඒ හැම පැත්තකටම විහිදෙන්න ඕන අපි... ඒ නිසා මම ඒක යොදා ගන්නවා... නමුත් හැම එකටම යොදා ගන්නවා කියලත් නෑ... මොකද එක එක්කෙනාගේ කැමත්ත එක එක විදිහයි. ඒ කැමැත්ත අනුව ඒ දේවල් දෙනවා. ඒක බැනලා භාර ගැනීම හෝ බනින්නේ නැතිව භාර ගැනීම ප්‍රේක්ෂකයාගේ කැමැත්ත. මම ඒ හැමදේම සමබරව විඳින්න බලාගෙන ඒ දේ දෙනවා. 

කලාව ගැන හැගීමකින් තොරව යූ ටියුබ් ට්‍රේන්ඩින් බලාගෙන නිරුවත යොදාගන්නවා කියලා චෝදනා කළොත්.
ඇත්තටම මෙහෙමයි... ලංකාවේ දැන් අපි වීඩියෝ එකක් හරි ඕඩියෝ එකක් හරි කරපුවහම මිනිස්සුන්ට ජීවත් වෙන්න සල්ලි ඕනි. එතකොට ඩිරෙක්ටින් කියන්නේ එක්තරා විදිහේ රස්සාවක්. ආදායම් මාර්ගයක්. ආදායම් මාර්ගයක් කර ගත්තට ප්‍රශ්නයක් නෑ. ලංකාවේ ඇත්තටම යූ ටියුබ් මාර්ගයෙන් සල්ලි හොයනවා. ට්‍රෙන්ඩින් ගේනවා. ඒකත් එක හේතුවක් තමයි. නමුත් ප්‍රධානම හේතුව ඒක නෙවෙයි. අපි අම්මා ගැන හරි රට ගැන සෝන්ග් එකක් කරලා දැම්මොත් ඒක ෂෙයාර් කරන ප්‍රමාණය අඩුයි. හොඳ දේවල් කළාට ඒවට ලැබෙන ප්‍රතිචාර අඩුයි. ඒත් මොකක් හරි සින්දුවක නියුඩ් එකක් ඇතුළත් දෙයක් දැක්කොත් ඒකට බැනලා හරි ෂෙයාර් කරනවා මිනිස්සු. ඉතින් ඒ නිසා ඉස්සරහට සෝන්ග්ස්වල නියුඩ් වැඩිවෙයි. මොකද බැනලා හරි ෂෙයාර් කරන නිසා. ඒක නවත්වන්න නම් ඉතින් අම්ම ගැන හරි රට ගැන හරි ඒ වගේ හොඳ නිර්මාණත් ෂෙයාර් කරන්න ඕනි. 

ඒ කියන්නේ ප්‍රේක්ෂකයා ඉල්ලීමට සරිලන ආකාරයටද ඔබ සැපයුම කරන්නේ. 
එක එක ප්‍රේක්ෂකයාගේ එක එක රසයන් තියෙන්නෙ. එක එක අය එක එක විදිහට තමයි ඒක භාර ගන්න කැමැති. ලංකාවේ බොහෝ පිරිසක් වැරදි දෙයක් දැම්මොත් ඒක බැනලා හරි භාරගන්න කැමැතියි. නමුත් හොඳ දෙයක් දැම්මොත් භාර ගන්න ප්‍රමාණය අඩුයි. අපි යම්කිසි නිර්මාණයක් කරන්නේ ගොඩක්... මොකක් ප්‍රතිචාරයක් ලබාගන්න. හොඳ ප්‍රතිචාර ලැබෙනවා අඩුයි ලංකාවේ. නමුත් ඉතින් නරක ප්‍රතිචාර හරි ලැබෙන්න ඒ දේ බලනවානේ. ඉතින් ඒ නිසා ඒ දේ කරනවා. 

ඒත් ඔය වැනි දර්ශනවලින් ලංකාවේ තිබෙන සංස්කෘතිය හානියක් වෙනවා කියලා ඔබට චෝදනා කළොත්.
සමහර වීඩියෝස්වලින් ඇත්තටම ලංකාවේ සංස්කෘතියට හානියක් වෙනවා. නැත්තේ නෑ... මං කියන්නේ නෑ මොනවද කියලා. නමුත් සංස්කෘතිය කියලා එක රාමුවකට කොටු වෙන්නත් හොඳ නෑ අපි. ඒ කියන්නේ සංස්කෘතිය කියලා අපි.... සංස්කෘතිය කිව්වම අපි කුණුහරුපු ඔක්කොම කියලා බැනලා දානවා. ඒකටත් සංස්කෘතියට පටහැනියි. එතකොට එහෙම ගියොත් ගැහැනු ළමයකුට කොටට ඇදලා පොටෝෂූට් එකක් කරලා දාන එකත් සංස්කෘතියට පටහැනියි. දැන් නිරුවත කියන දේ ලංකාවේ මියුසික් වීඩියෝස්වලට ඇවිත් තියෙන්නේ. ගොඩක් වීඩියෝස්වලට දැන් නිරුවත යොදා ගන්නවා... නමුත් සමහරු වීඩියෝ එක හිට් කර ගන්න ඕන විදිහටම නිරුවත් කරලා දානවා. නමුත් මගේ පරමාර්ථය ඒක නෙවෙයි. මගේ පරමාර්ථය න්‍යුඩ් එක පෙන්වීම නොව මට අවශ්‍ය කන්සෙප්ට් එක මිනිස්සුන්ට ලබාදීම සහ යම්කිසි කතාවක් මිනිස්සුන්ට ලබාදීම. ඒක ලබාදෙන්න යොදන එක උපාය මාර්ගයක් තමයි නිරුවත කියන්නේ. ඕනම මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් ඒක තමයි කරන්නේ. 

මියුසික් වීඩියෝවකින් යම් පුද්ගල චරිතයකට හානියක් ඇතිවන ආකාරයේ දෙයක් කිරීමට සිදු වුවහොත් ඒ ගැන මොකද ඔබ ගන්න පියවර. 
ඇත්තටම මම එහෙම දෙයක් කරන්නේ නෑ. කොහොමත්ම කරන්නේ නෑ. අනිවාර්යයෙන්ම දෙපාරක් හිතනවා සහ පුද්ගලයාගේ කැමැත්ත වුණත් ඒත් අපිට කරන්න බෑ. මොකද කෙනෙක්ගේ ප්‍රසිද්ධ චරිතයකට නම් එහෙම පහරදෙන්න බෑ... පහර දෙන්නේ නෑ මම නම්... ඉතින් අපට අවශ්‍ය නෑ ඉතින් එක එක කට්ටියගේ ජීවිත කතාවල් අරගෙන කරන්න. දැන් ලංකාවේ වෙලා තියෙනවා තාත්තා දුවව රේප් කරනවා, අම්මා වෙන කෙනෙක් එක්ක යනවා ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ඒ වගේ කතාවල් දාපුවහම එක එක මානසිකත්ව අනුව තමයි වෙන්නේ. මම සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් කාගෙවත් චරිතවලට හානියක් නොවන ආකාරයට ඒ වගේ කතා අරගෙන අපිට ඕන විදිහට වෙනස් කරගෙන ඒ වගේ හොඳ දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මිනිස්සු බලලා මේ වගේ දේවලුත් වෙනවානේද කියලා දකිනවානේ. 

ෂා විරාජ් මේ වනවිට ගීත රූප රචනා කියක් කරලා තියෙනවාද?
25ක් විතර කරලා තියෙනවා.

ඉන් කියකට විතර නිරුවත අන්තර්ගත කරලා තියෙනවාද?
හරියටම නිරුවත අන්තර්ගත කළේ එක ගීතයකට පමණයි. මේ ළඟදි ඒක අවුට් වුණේ. මෙහෙමයි... ඒ නිරුවත කොච්චර අන්තර්ගත කළත් ගීතයේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකේ නිරුවත යන්නෙත් නෑ. ගීතයේ කොලිටි එකකුත් තියෙන්න ඕනි. කොච්චර නිරුවත, ඇඳුම් ඔක්කොම ගැලෙව්වත් ඒක යන්නේ නෑ. ඇඳුම් ඔක්කොම ගැලෙව්වොත් ඒ ඇඳුම් ගලවන එක බලන්න තමයි මිනිස්සු බලන්නේ. ඒ නිසා මම කියන්නේ මම එකයි දැනට කරලා තියෙන්නේ සහ හෙට අනිද්දා තව එකක් එන්න තියෙනවා. නමුත් ඒවා මම නිර්මාණය කර ගන්නා ලද සහ මම විසින්ම මවා ගන්නා ලද ඒවා. නමුත් මම කලින් කළ එක නම් සත්‍ය සිදුවීමක් ඇසුරෙන් කළේ. 

ඇයි එක පාරටම මේ පැත්තට හැරුණේ. වෙනසකටද? නැත්නම් ට්‍රෙන්ඩ් එකටද?
නැහැ... ට්‍රෙන්ඩ් එකටම නෙවෙයි. පළමු දේ තමයි හැමදාම ගස්වටේ ගිහින් ආදරේ කරන එක පෙන්වන එක එපා වෙලා තිබුණේ මට. ඒ වගේම මිනිස්සු වැළඳගන්නෙත් නෑ ඒ වගේ දේවල්. ඒ වගේ දේවල් මිනිස්සුන්ට දෙන්න පුදුම අමාරුවක් තියෙන්නේ. ඒවායේ හොඳ කතාවක් තිබුණත් ඒක මිනිස්සු ගන්නේ නෑ. ඒවා ෂෙයාර් කරන්නේ නෑ. ඒ වගේම අලුතින් එන ආටිස්ට් කෙනෙක්ට රටේ පිළිගත් මාධ්‍ය මගින් ලැබෙන තැන අඩුයි. ඒ නිසා යුටියුබ්, ෆේස්බුක් හරහා තමයි ගොඩක් අය තමන්ගේ ගීත ප්‍රචාරණය කිරීමට උත්සාහ කරන්නේ. ඉතින් ඒක නිසා මේක ප්‍රමෝෂන් පැත්තක් තමා. එක්තරා ආකාරයක ප්‍රමෝෂන් පැත්තක්. ඉතින් එක එක අය මෙම ප්‍රමෝෂන්වලට එක එක දේවල් ඇතුළත් කරනවා. සමහරු ජෝක්ස්වලින්ම ප්‍රමෝට් කරනවා. ඉතින් මමත් මියුසික් වීඩියෝ හරහා එහෙම දේවල් ප්‍රමෝට් කරනවා. 

පසුගිය දවස්වල මඩ ප්‍රහාර එල්ල වුණා. ඇයි එහෙම වුණේ. 
වැඩක් කරන විට මඩ ප්‍රහාර එල්ල වෙන එක සාමාන්‍ය දෙයක්. ඉතින් මම මගේ අලුත් වැඩේ සිදුවෙන ආකාරය ලයිව් එකක් දැම්මා ෆේස්බුක් එකේ. ඒක බලපු ගොඩක් අය මට බැන්නා. මඩ ගැහැවුවා. එහෙම වුණා කියලා ඉතින් මම සැලෙන්නේ නම් නෑ. 
සාමාන්‍යයෙන් අපි නෝමල් වීඩියෝ එකක් දැම්මත් ඒකටත් මඩ එනවා. ඒ එක එක්කෙනා නිර්මාණය දකින ආකාරය නෙවෙයිනේ, පුද්ගලයා සමග තියෙන දේවල්, පුද්ගලික දේවල් බලපානවා. සමාජ ජාල හරහා දැන් ගොඩක් අය පිට කරන්නේ පෞද්ගලික දේවල්. මම නම් කැමැතියි හොඳ සහ නරක දේවල් එන එකට. මම ඇත්තටම හිතන්නේ අපිට ජාත්‍යන්තර තත්ත්වයට යන්න අමාරුයි. ඒත් අපේ පරණ අය කලාව එක එක විදිහට දැක්කා. ඉස්සර බයිස්කෝප් ෆිල්ම් එකක් බලන්න පුදුම කැමැත්තක් තිබුණේ. දැන් ඒ කැමැත්ත නෑ. මම ඉදිරියේදී ෆිලිම් නිෂ්පාදනය පැත්තටත් යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ෆිලිම් බලන්න කැමැත්ත ඇති කිරීමට මම උත්සාහ කරනවා. මම දන්නේ නෑ මට ඒ දේ සාර්ථකව කෙතරම් දුරට කළ හැකි වේද කියලා. 

නිරුවත් දර්ශනවලට පෙනී සිටින නිරූපිකාවන් දෙස සමාජය වැරදි ඇසකින් බලනවා. ඔබ ඒ ගැන මොකද හිතන්නේ. 
ඒ ගැන මම කෙටියෙන් කියන්නම්.... "සුදු අඳින හැමෝම සිල්වත්තුත් නෙවෙයි... ඇඳුම් ගලවන හැමෝම ගණිකාවොත් නෙවෙයි."

ඉදිරියේදී අලුතින් එන්න තියෙන දේවල් ගැන කතා කළොත්...
අලුතින් එන්න තියෙනවා මගේ "හැරයන්න වරදක් කළාද" කියන සින්දුව. ඇත්තටම ඒක අඩනිරුවත් දර්ශන ඇතුළත් වෙනවා. එහිදී යම්කිසි දෙයක් පෙන්වන්න උත්සාහ කර තිබෙනවා. අද කාලේ හැටියට කොල්ලෝ ගොඩක් ෂෙයාර් කරයි. ඇත්තටම කතාව කියන්න කැමැති නෑ. පිරිමි පාර්ශ්වයට ගොඩක් හොඳයි. ඒක තමයි ප්‍රධානම එක සහ මගේ තියෙනවා විශේෂම කන්සෙප්ට් එකක්... මං හිතන්නේ නෑ... ලංකාවේ ඒ වගේ කන්සෙප්ට් එක කළා කියලා... වෙනසක් වෙනසක් කියලා කිව්වට වෙනසක් වෙලා නැහැනේ. ඒ වෙනසක් වෙන විදිහේ වීඩියෝ එකක් කරන්න මම ප්ලෑන් කරලා තියෙනවා. ඒක මේ මාසේ අග වගේ රූගත කරන්න බලාපොරොත්තු වෙනවා. අනන්තයෙන් පාවි ඇවිත් කියලා... ඒ ගීතය මම ලියපු එකක්. 

වැඩියෙන්ම ජනප්‍රිය වූ සින්දු ගැන කතා කළොත්...
වැඩියෙන්ම ජනප්‍රිය වූ ගීතයක් තමයි මේ සංසාරේ.... එතකොට සුපර් ස්ටාර් කනිෂ්ක කාලිංගට කරපු හිත හඬනවා ගීතය, එතකොට සමන්ත කෝනාරට කරපු දුක තියාම ඔයා සහ මිරෝන් ශ්‍රීට කරපු මතකයි ඔබ කියන ගීත ජනප්‍රිය වුණා. මේ සංසාරේ ගීතයට ගොඩක් ජනප්‍රිය වුණා. කිසිදු ප්‍රමෝෂන් එකක් නැතිව. 

මෙච්චර වැඩ ගොඩක් කරන ෂා විරාජ් කියන්නේ කවුද?
ෂා විරාජ් කියන්නේ ඇත්තටම... ජීවිතයේ එක තැනකදි නැත්තටම නැතිවෙලා වැටුණු යම්කිසි වාසනාවක් සහ දෙවියන්ගේ ආශීර්වාදයක් කරණ කොටගෙන ඇතිව අහම්බෙන් නමක් හැදුණු පුද්ගලයෙක්. 

පොඩි කාලේ ඉඳන්ම හිතේ තිබුණු ආශාවක්ද ඩිරෙක්ටර් කෙනෙක් වෙන එක. 
නෑ... මං ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න නෙවෙයි හිටියේ... මං නළුවෙක් වෙන්න හිටියේ. ඇත්තටම මට ඕන වෙලා තිබුණේ තෙළිඟු නළුවෙක් වෙන්න. තෙළිඟු චිත්‍රපටවල ප්‍රධාන නළුවෙක් වෙන්න. ඒක තමා මගේ අවසන් සිහිනය වෙලා තිබුණේ. නමුත් එක්තරා අවස්ථාවක විශාල රිය අනතුරකට ලක්වෙලා මගේ ජීවිතේ වෙනස් වුණා. ඉතින් ඊට පස්සේ මට නළුකම තවදුරටත් කරගෙන යන්න බැරි තත්ත්වයකට වැටුණා. 
එතැනදි අන්තිමේටම වැටුණා. මගේ ෆැමිලි එක බිස්නස් ෆැමිලි එකක්. ඕන වෙලාවක බිස්නස් කරන්න පුළුවන්. නමුත් බිස්නස් කියන දේ මගේ ඇඟේ නෑ. ඉතින් ඒක හරියන්නේ නැති නිසා මං පොඩි කාලේ ඉඳලම ජීවත් වුණේ සිනමා ලෝකයේ. ඉස්කෝලේ 2 වසරේ ඉඳලා වගේ. ඉතින් ඒ නිසා හිතුවා ඩිරෙක්ටර් කෙනෙක් වුණොත් හොඳයි කියලා. එහෙම හිතලා ඉගෙනගෙන අධ්‍යයනය කරලා, කරපු ඒවායින් ෆේල් වෙච්ච තැනුත් තියෙනවා. එහෙම ෆේල් වෙලා ෆේල් වෙලා යම්කිසි මට්ටමකට අද ඩිරෙක්ටර්ලා අතරින් ඇවිත් තියෙනවා. ඉතින් ඒ ගැන නිහතමානිව සතුටු වෙනවා. මගේ අවසාන බලාපොරොත්තුව ලංකාවේ හොඳම ෆිල්ම් ඩිරෙක්ටර් වෙන එක. අනිවාර්යයෙන්ම ඒක වෙනවා. 

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?
ගෙදර අය කැමැති බිස්නස් කරනවාට... මේ ෆීල්ඩ් එකට කැමැති නැහැ. අම්මා වුණත් ඉතින් කැමති බිස්නස් කරනවට... මම මේ ෆීල්ඩ් එකට කැමති නිසා කැමති වෙලා තියෙනවා මගේ කැමැත්ත නිසා. පවුලෙන් සහයෝගය තියෙනවා. මගේ දේවල් බලනවා. සතුටු වෙනවා. නමුත් එයාලා කැමැති මම බිස්නස් පැත්තට යනවට. 

පවුලේ අය ගැන කතා කළොත්. 
අම්මයි තාත්තායි ඉන්නවා. ඔවුන් දෙන්නම රට ඉන්නේ. මම තනියම ගෙදර ඉන්නේ. මගේ ෆැමිලි බිස්නස් එක හාඩ්වෙයාර් බිස්නස් යනවා. මම ඒ පැත්තට කැමැති නැහැ. හොඳ ආදරේ ආච්චි අම්මා කෙනෙක් ඉන්නවා. තනියම ජීවත් වෙන්න හුදකලාව ජීවත් වෙන්න කැමැති කෙනෙක් මම. 

ෂා කියන්නේ පෙම්වතෙක්ද?
ඔව්... 

කැමතිද ඒ ගැන කතා කරන්න....
ම්ම් අවුලක් නෑ... එයා කලාවට සම්බන්ධ අයෙක් නෙවෙයි. එයාගේ නම කියන්න බෑ.. ඒ වුණාට ජනප්‍රිය කෙනෙක්. එයාට විතරයි ආදරේ කරන්න පුළුවන් කවුරු ආවත්. යනවා ඉතින් සමබරව. රණ්ඩු වෙනවා යාළු වෙනවා ආදරේ කියන්නේ ඒකනේ. ආදරේ කියන්නේ බොළඳ දෙයක්... ඉතින් ඒ නිසා පොඩි ළමයි වගේ වෙලාවකට. 

අලුතින් කරන විෂුවල් ගැන පෙම්වතිය දරන්නේ මොන වගේ මතයක්ද? 
කළාට ප්‍රශ්නයක් නෑ... නමුත් ඉදිරි කාලයේදී එයා යම්කිසි විශාල වගකීමක් සහිත රාජ්‍ය අංශයේ තනතුරක් භාර ගන්නවා... එවිට එයාගේ නමට කැලැලක් ඇති නොවන ආකාරයට වැඩ කටයුතු කරන් යන්න ඕන. 

ඔයාගේ වැඩවලට උදව් කරන අනෙක් අය ගැන මතක් කළොත්. 
මගේ හොඳම මිත්‍රයෙක් ඉන්නවා... විශ්ව ජයරංග කියලා.... එයා තමයි මගේ ජීවිතේ හැම දේකටම මොන දේ වුණත් මගෙත් එක්ක ඉන්නේ. ඒක මට සියයට දාහක් විශ්වාසයි. මට තවත් යාළුවො ගොඩක් ඉන්නවා නමුත් මිත්‍රයා කියන කෙනා විශ්ව. ඉතින් එයා සහ තව කෙනෙක් ඉන්නවා අශේන් ඩිලූෂ කියලා. එයා තමයි මාව මේ ෆීල්ඩ් එකට නැවත ගෙන ආවේ. ඇත්තටම ඒක අමතක කරන්න හොඳ නෑ... අර මම මුලින් කිව්වේ යම්කිසි වැටුණු අවස්ථාවක් ගැන... ඒ වෙලාවේ මම මේ දේ අතාරින්න ගියා... ඒ වෙලාවේ අශේන් තමයි "නෑ ඔයා අතාරින්න එපා... ඔයා මේකම කරන්න ඕන" කියලා මාව දිරිමත් කළේ.  එදා ඒක මං අතහැරියා නම් අද මං මෙතැන නැහැ සහ තව ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒ අය ඔක්කොම නම් වශයෙන් කියන්න බෑ. ඒ වගේම මගේ හොඳ කියපු සහ බැනපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ හැමෝම තමයි මං මෙතැන ඉන්නේ. 

පාසල් කාලය ගැන කතා කළොත්.
මම මහනුවර මහානාම විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ. පාසල් කාලයේදී මගේ මනසේ තිබුණේ බොඩි බිල්ඩින් ගැන. ඒ වගේම සෙල්ලක්කාර ජීවිතයක් තමයි ගත කළේ. ආදරවන්තිය මුණගැසුණෙත් ඒ කාලේම තමයි. පාසල් කාලේ සුන්දරයි... ආයෙත් ඒ කාලය එනවා නම් හොඳයි කියලා හිතෙනවා. 



ලංකාවේ සිනමා කර්මාන්තය ගැන ඔබේ තියෙන්නේ මොනව වගේ මතයක්ද?
ලංකාවේ හොඳ ෆිල්ම් ඉන්ඩස්ට්‍රියක් හැදීගෙන එනවා. ඉතින් ඇත්තටම කියනවා නම් බොලිවුඩ්, තෙළිඟු, ටැමිල් හොඳ තත්ත්තවයක තියෙනවා. ලෝකෙම සල්ලි හම්බ කරන පැත්තෙන් සහ විනෝදාස්වාදය පැත්තෙන් හොඳම ඉහළම තත්ත්වයේ තියෙනවා. හොලිවුඩ් ගැන කතා කරන්න දෙයක් නෑ අපිට මොකද ඒක කොහොමත් හොඳයිනේ. ඉතින් ඇත්තටම මට හරි ආසාවක් තියෙනවා ලංකාවේ දැන් ළඟදි ඇත්තටම ගොඩක් සතුටු වුණා ධර්මයුද්ධය කියලා මූවි එකක් ෆුල්හවුස් වුණා.  
ඇත්තටම මං හරි කැමැතියි ලංකාවේ ඉස්සරහට සිනමාව කියන දේ ඔය ෆුල් හවුස් කියන තත්ත්වයක් එක්ක යනවට. මම ඒ දේට හරි යන ආකාරයේ නිර්මාණයක් මම ඉතාම ඉක්මනට කරනවා. ඊට අවශ්‍ය නිෂ්පාදකයන් එක් කරලා තෙළිඟු තාක්ෂණය යොදා ගනිමින් විනෝදාස්වාදය මිනිසුන්ට ලබාදීමට ගොඩක් උත්සාහ කරනවා. එවැනි එක දෙයක් හරි මං දෙනවා. මං හරි ආසාම නළුව තමයි හේමාල්.... ඉතින් මං බලාපොරොත්තු වෙනවා මේකට හේමාල් යොදා ගැනීමට. 
ඒ වගේම තව දෙයක් කියන්න තියෙනවා. ඇත්තටම සිරසගොසිප් හරහා ආටිකල් එකක් අවුට් වෙනවට කැමැත්තකින් හිටියේ. ඉතින් ඔයාලා මාත් එක්ක කතා කළා. ඒ සම්බන්ධව මම නිහතමානිව ස්තුතිවන්ත වෙනවා. මොකද සමහර අය අපට දෙන්නේ නැහැ අවස්ථාව කතා කරන්න. ඒ සමහර පෞද්ගලික තරහවන් සහ නොයෙකුත් කාරණා නිසා... 
මොකද අපිව බාහිර ස්වරූපයන්ගෙන් මනින්නේ නැතිව කතා කරලා ඒ පුද්ගලයාගෙන්ම ඒ පුද්ගලයා ගැන දැනගන්න තත්ත්වයේ වෙබ් අඩවියක් තමයි මේක. ඇත්තටම කාටවත් මඩ ගහන්නේ නැති වෙබ් අඩවියක්. මම ප්‍රාර්ථනා කරනවා මෙම වෙබ් අඩවිය ලංකාවේ හොඳම තත්ත්වයේ වෙබ් අඩවියක් බවට පත්වෙන්න කියලා සහ ඒකට අවශ්‍ය උදව් මට පුළුවන් විදිහට දෙනවා. මේ මගේ දෙවන සම්මුඛ සාකච්ඡාව... මම මුල මතක තියාගන්න කෙනෙක් විදිහට ඉදිරියේදී ඕනම සහයෝගයක් දෙනවා. 
ඒ වගේම ඉදිරි කාලයේදී මගේ එනවා රට ගැන වීඩියෝවක්... ඒක සෑම භාෂාවකින්ම නිර්මාණය කෙරෙනවා. ඉතින් මම කියන්නේ බනින අයට ආරාධනා කරනවා ඒකත් බලලා ෂෙයාර් කරන්න කියලා. 















Chat with Music Video Director Shaa Viraj Chat with Music Video Director Shaa Viraj Reviewed by Admin on 9:59 PM Rating: 5

No comments:

Powered by Blogger.