Chat with Assistang Director Akila Garusinghe about Sannaadi

Views
නවකයන්ට තැන හදමින් අලුත් වැඩක් කරන්න යන "සංනාදී"



නවක නළු  නිළියන් පිරිසක් සමගින් අලුත්ම ආකාරයේ වැඩකට අත ගහලා ඉන්න  ටෙලි නාට්‍ය සහ චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයකු වන අකිල ගරුසිංහගේ අලුත්ම වැඩේ වන "සංනාදී" පිළිබඳ සිරසගොසිප් සිදු කළ සාකච්ඡාව ඇසුරෙන්  සකස් කළ ලිපියකි මේ.

අකිල, මොකක්ද මේ අලුත් වැඩක් කරන්න යන්නේ.
මේක සන්නාදි කියලා  අලුත්ම වැඩක්... මේකට නම දැම්මේ කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්... විශාල තේරුමක් සහිතව තමයි මේ වැඩේ කරන්නේ... මේ සන්නාදි කියන නම ලොකු තේරුමක් සහිත එකක්... ඒක නිසා තමයි මම මේකට අලුත්ම පිරිසක් එකතු කර ගත්තේ. ගොඩක් හැකියාව තියෙන අය ඒ කියන්නේ සින්දු කියන්න, නටන්න, රඟපාන්න පුළුවන් අය හිටියට එහෙම ගොඩක් අයට දැන් තැනක් නෑ... ඉතින් ඒ පිරිසකට මම අවස්ථාවක් දීලා තියෙනවා වේදිකාවක තමන්ගේ හැකියාවන් පෙන්වන්න සන්නාදි හරහා අවස්ථාව ලබාදීලා තියෙනවා. 

අලුත් අයත් එක්ක මේ වැඩේ කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද?
මට කෙනෙක්ව හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා තේරුම් ගන්න පුළුවන්... ඉතින් ඒ තේරුම් ගැනීමත් එක්ක  මම මේකට අවශ්‍ය පිරිස තෝරා ගත්තා... ඉතින් මම හිතනවා මේ අලුත් පිරිසත් එක්ක මේ වැඩේ කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. 

ඔබට සහය දක්වන අය ගැන කිව්වොත්...
ෆීල්ඩ් එකේ ගොඩක් අය මට උදව් කරනවා. මේක මම තනියෙන් කරන වැඩක් නෙවෙයි... නර්තනය ඉගැන්වීම කරන්නේ දක්ෂ නර්තනාචාර්යවරියක්... ඒ වගේම සංගීතයත් ඒ වගේ තමයි. ඉතින් මට මේ ළමයින්ගෙන්ම වගේම තවත් බොහෝ පිරිසකගෙන් උදව් උපකාර ලබාදෙනවා. මේ සියල්ලම මම කරන්නේ නොමිලේ.

සියල්ලම මුදලට තීරණය වන කාලයක ඇයි නොමිලේ කරන්න සිතුවේ...
මෙහෙමයි... හැම වෙලාවේම මුදල් මතම අපි ඉන්න ගත්තොත් එහෙම අපිට වැඩක් කරන්න අමාරුයි. මම හිතන විදිහට... ඉතින් මම කල්පනා කළා මේ දේ මම ළමයින්ට දීලා තැනක් හදලා ඊට පස්සේ අපිට පුළුවන් මුදල් හොයන්න. මුලින්ම මුදල් පස්සේ අපි යන්න ගියොත් වැඩේ හරියට කර ගන්න බැරි වෙනවා... සමහර ළමයින්ට මුදල් ප්‍රශ්නත් තියෙනවා... ඉතින් එම නිසා තමයි මම කල්පනා කළේ මුලින්ම තැනක් හදලා දීලා මුදලක් අතට එන විදිහට මේ ෂෝ එක  හරහා... පසුව ඒ ගැන වැඩකටයුතු කරන්න.

මෙවැනි දෙයක් කළ යුතුයැයි ඔබට සිතුණේ කෙසේද?
මේක ගොඩක් කල් ඉඳන් තිබුණු එකක්... ඉතින් ඒක කර ගන්න බැරිව හිටියේ මේ ටෙලිනාට්‍ය වැඩකටයුතු නිසා. ඉතින් මේ අවුරුද්දේ මම හිතුවා මේ අවුරුද්ද අන්තිම වෙද්දි කොහොම හරි මේක කරනවා කියලා. ගොඩක් වෙලාවට මේක කර ගන්න බැරි වෙන තත්ත්වයටත් ආවා... ඉතින් උත්සාහය කළොතින් කරන්න බැරි දෙයක් නැහැනේ. ඉතින් කොහොම හරි කළා. 

මේකට කෙතරම් පිරිසක් සහභාගි වෙනවද?
මේකට විස්සකට අධික පිරිසක් සිටිනවා. 

කොහොමද ඔවුන්ගෙන්  ලැබෙන සහයෝගය.
ඇත්තටම කියන්න සංතෝෂයි ළමයින්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ළමයින්ගෙන් ලැබෙන සහයෝගයට ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕනි... කිව්වොත් වෙලාවට රිහසල්වලට එනවා... සමහර වෙලාවල්වලට ඩාන්සින් උගන්වන ජයනා මිස්ලාගේ ගෙදර නතර වෙලා ඩාන්සින් පුහුණු වෙනවා. ඇත්තටම ලොකු කැපවීමක් තියෙනවා. මම ෂූටිංවල හිටියත් මං එතැන ඉන්න විදිහට කටයුතු කරන්න ළමයින් ටිකක් ඉන්නවා... ළමයින්ගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. 

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්යට ආරාධනා කරලා තියෙනවා. ඒ විශේෂ හේතුවක් නිසාද?
විශේෂ හේතුවක් නිසා නෙවෙයි. ඒ වගේම මෙය දේශපාලනය මත කරපු ආරාධනාවකුත් නෙවෙයි. ඇත්තටම මගේ අදහසක් තිබුණා මගේ මේ වගේ මං මේ වගේ වැඩක් තිබුණොත් මං එතුමාට ආරාධනා කරනවා කියලා. මොකද මං පුද්ගලිකවම එතුමාට කැමැතියි. නැතිව දේශපාලනය මත පදනම්ව කරපු දෙයක් නෙවෙයි. ඉතින් මං ගිහින් ආරාධනා කළා. 

මේ සංනාදී ප්‍රසංගය පැවැත්වෙන දිනය වෙලාව සහ ඒ ගැන විස්තර ටිකක් කියන්න. 
මේ ප්‍රසංගය 2017 නොවැම්බර් මස 12 වැනි ඉරිදා සවස 2.30ට කොළඹ විහාරමහාදේවී මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී. මේකට මුදලක් අය කරන්නේ නැහැ. ඕනෑම කෙනෙක්ට එන්න පුළුවන්. ඉතින් ඇවිත් ෂෝ එක බලලා මේකේ හොඳ නරක කියන්න පුළුවන්. ඒ වගේම නොවැම්බර් මාසේ 12 වැනිදායින් පස්සේ මේ ෂෝ එක ලංකාවේ ඕනෑම තැනකට වගේම ලෝකයේ ඕනෑම රටකට ගෙන්වාගන්න පුළුවන්. 077 467 1153 කියන මගේ නම්බර් එකට කතා කළොත් පුළුවන් මේ ෂෝ එක ඔබේ ගමට හෝ ඔබගේ නගරයට ගෙන්වා ගන්න පුළුවන්. 

මෙවැනි තවත් නිර්මාණ කිරීමට අදහසක් නැත්ද?
මේ වගේ නිර්මාණයක් ආයේ කරන්න බෑ... මොකද මේක නර්තනය, ගායන සහ රංගනය කියන සියල්ලම තියෙනවා. ඉතින් මේවගේ තවත් එකක් කරන්න බෑ... ගොඩක් දුරට මම කරන්නේ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට... ඉතින් ඉදිරියට මම ඉදිරියට කරන්න හිතන් ඉන්නේ ටෙලි නාට්‍ය සහ ෆිල්ම් තමයි. ටෙලි නාට්‍යවලින් තමයි යන්න හිතන් ඉන්නේ. 

සංනාදි බලන්න හිතන් ඉන්න ප්‍රේක්ෂකයන්ට මොනවගේ පණිවුඩයක් දෙන්න කැමති. 
ම්ම්ම්... ප්‍රේක්ෂකයන්ගෙන් මම එක දෙයක් ඉල්ලනවා... අලුත් පිරිසක් හිටියට ඒ පිරිස... සමහර වෙලාවට මිනිස්සු හිතනවා මේකේ ජනප්‍රිය කලාකරුවෝ නැහැනේ... ඒක නිසා අපි එන්නේ නැහැ මේක බලන්න කියලා සමහර විට හිතන්න පුළුවන්. ඒත් ජනප්‍රිය කලාකරුවන්ට වඩා දක්ෂ ආධුනික පිරිසක් ඉන්නවා. දක්ෂ ආධුනික කලාකරුවන් පිරිසක් ඉන්නවා... මම කියන්නේ අනෙක් අය අදක්ෂයි කියලා නෙවෙයි. එම නිසා මම කියන්නේ ඇවිත් බලන්න... බලලා හොඳ නරක මට කියන්න... එහෙම වුණාම මට මේක ඉදිරියට අරන් යන්න පුළුවන්... නැත්නම් මේක එදාම නවත්වන්න වෙනවානේ. ඒක නිසා මම කියන්නේ මේකේ ගොඩක් දක්ෂ පිරිසක් ඉන්නේ... ඒ පිරිස මම මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳලා හොයා ගත්තේ. මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳන් මගේ අනිත් ෂූටිං වැඩ අතරමග නතර කරමින් මේ ෂෝ එක ප්ලෑන් කළා. නොවැම්බර් මාසේ 12 වැනිදා මේක ප්‍රදර්ශනය කිරීමට මම ලොකු කැප කිරීමක් කළා. ඉතින් මම ආයෙත් කියන්නේ ප්‍රේක්ෂකයන්ට එන්න... ඇවිත් බලන්න... බලලා හොඳ නරක කියන්න. 

මේ වගේ වැඩක් කරන කරද්දි අනිවාර්යයෙන් බාධක තියෙනවා.
අනිවාර්යයෙන්ම තියෙනවා... මොකද මේ දිනවල මගේ ටෙලිනාට්‍ය 4ක් විතර විකාශය වන රූපවාහිනි නාලිකාවල... ඉතින් ඒක තමයි ලොකුම බාධාව වෙලා තියෙන්නේ. නැතිව වෙන ලොකු බාධාවක් නෑ.

කකුලෙන් අදින අය එහෙම නැත්ද?
කකුළෙන් අදින අය ඉන්නවා... නැත්තේ නෑ... හැබැයි මම ඒවා ගණන් ගන්නේ නෑ... මොකද  මගේ කකුලෙන් ඇද්දට මම එක කකුලක් ඉස්සරහට තියලා තියෙන්නේ... ඒ ඉස්සරහට තියපු කකුල සහ මගේ අතින් අල්ලගෙන ඉන්නවා තව විස්සක් විතර... ඉතින් ඒගොල්ලො මාව ඇදලා ගන්නවා. එහෙම ඇදලා ගන්නා නිසා අර කකුලෙන් අදින පුද්ගලයාට කකුල අතාරින්න වෙනවා. ඒ වගේම මම මේ ෆීල්ඩ් එකේ හොඳ නමක් තියාගෙන ඉන්න කෙනෙක්. එම නිසා කවුරු කොහොම කරත් මම විශ්වාස කරන විදිහට මාව වට්ටන්න බෑ. මොකද හේතුව මම ටෙලිනාට්‍ය කිහිපයක් නිෂ්පාදනය කළා. එහෙම නිෂ්පාදනය කරද්දිත් ප්‍රශ්න ගොඩක් ආවා. චැනල් එකට දැම්ම නවත්වන කතන්දරයකු ආවා. හැබැයි නැවැත්තුවේ නෑ... ටෙලි නාට්‍ය ගියා. 

ටෙලි නාට්‍යකරණය සහ මෙම ප්‍රසංගය ගත්තම ඔබට මෙය අභියෝගයක්ද?
ඇත්තටම අභියෝගයක් තියෙනවා. මොකද ෂූටිංවලයි මේකයි දෙකක්. මොකද ෂූට් එකක් අපි ඔන් කර ගත්තම අපිට ඒක කරන් යන්න පුළුවන්. මොකද අපි දන්නවානේ කරන් යන විදිහ. නමුත් මේ ෂෝ එක එහෙම බෑ. මොකද මේක හොඳට ප්ලෑන් කරන්න ඕනි. මෙන්න මේ විදිහට මේ අයිටම් එක කළාට පස්සේ මේක එන්න ඕනි කියලා. අනෙක කලාකරුවන් විශාල පිරිසක් මේක බලන්න එනවා. ගොඩක් අය දන්නවා මේක  මම කරන්නේ කියලා. ඉතින් ඇත්තටම මේක හොඳට තියෙන්නේ ඕනි. ළමයිනුත් හොඳට ඉන්න ඕනි. හොඳට නටන්න පුළුවන් වෙන්න ඕනි... හොඳට සින්දු කියන්න පුළුවන් වෙන්න ඕනි. ඇත්තටම මේ වගේ දෙයක් කරනවා කියන්නේ ලොකු අමාරු කාර්යයක්. ගොඩක් අය ඇහුවා මේක කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මම හිතනවා මට මේක කරන්න පුළුවන්. ඒ නිසයි අද මෙතැනට මේ ටික ගෙනත් තියෙන්නේ.  










Chat with Assistang Director Akila Garusinghe about Sannaadi Chat with Assistang Director Akila Garusinghe about Sannaadi Reviewed by Admin on 11:47 PM Rating: 5

No comments:

Powered by Blogger.