I will not participate again in Sri Lanka to Modeling Pagents

Views
ලංකාවේ පැජන්ට්වලට නම් ආයේ සහභාගි වෙන්නේ නෑ


වසර හයකට අධික කාලයක් නිරූපණ ක්ෂේත්‍රයෙන් තාවකාලිකව සමුගෙන සිට 2017 වසරේ පැවැති මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් යුනිවර්ස් තරගාවලියෙන් ජයග්‍රහණයක් ලබාගත් තක්ෂලා රණතුංග සමග කළ කතා බහක් මේ. 

ළඟදි ලොකු ජයක් ලැබුවා නේද? තක්ෂලා
මම මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් ග්ලෝබ් ටයිටල් එක වින් කළා. ඒකත් එක්කම මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් යුනිවර්ස් ෆ්‍රස්ට් රනර්ස් අප් වුණා. ඒක තමයි මං මෑතක ලබපු සහ මගේ ජීවිතයේ ලද ලොකුම ජයග්‍රහණය. 

මින් පෙර එවැනි තරගාවලිවලට සහභාගි වී හෝ ජයග්‍රහණ ලබලා නැත්ද?
2011 වර්ෂයේදී මොඩල් ඔෆ් ද නිව් ජෙනරේෂන් කියන පැජන්ට් එක සහභාගි වුණා. එහිදී මට බියුටිෆුල් ෆේස් කියන කැටගරි එක ජයග්‍රහණය කළා. ඉන්පසු අවුරුදු 6කට පසු තමයි පැජන්ට් එකකට සහභාගි වුණේ. 

ඇයි එච්චර කාලයක් නිහඬව හිටියේ.
ම්ම්ම්... 2011න් පස්සේ මම මැරි කළා... මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා... දරුවෙක් ලැබුණා. ඒවත් එක්ක ඒ අවුරුදු හයක කාලය ගත වුණා. අවුරුදු හයකට පස්සේ මට හිතුණා පැජන්ට් එකකට සහභාගි වෙලා ඒ අත්දැකීම ලබාගන්න. ඒක නිසා හිතුවා, ඇප්ලයි කළා සහභාගි වුණා. තේරුණා. ඒත් හිතුවේ නෑ ජයග්‍රහණයක් කරන්න පුළුවන් වෙයි කියලා... ඒත් ජයග්‍රහණය කරන්නත් පුළුවන් වුණා. 

2011දී පැජන්ට් එකකට සහභාගිවීමේදී සහ 2017දී පැජන්ට් එකක සහභාගි වීමේදී දැනුණු දේ මොකක්ද?
ඒ කාලේ මම  පැජන්ට් එකට සහභාගි වෙද්දි මම මිස්... ඒක මුලින්ම කියන්න ඕනි... ඒ කාලේ මම ෆීල්ඩ් එකේ යම්තාක්  දුරට හිටියා. මම තැන්ක්යු බර්ටි ෆිල්ම් එකේ රඟපෑවා, ඒ වගේම අයම් ශ්‍රී ලංකා වේදිකා නාට්‍යයට සහභාගි වෙලා හිටියා. ඒවත් එක්ක තමයි මම පැජන්ට් එකකට ගියේ. එතකොට අවුරුදු හයක් මම කිසිම දෙයක් නොකර මම ෆීල්ඩ් එකෙන් ඉවත් වෙලා හිටියා. ඒ ඉවත් වෙලා ඉඳලා තමයි 2017දී පැජන්ට් එකකට සහභාගි වෙන්නේ. ඒ පැජන්ට් එකේ ගිහින් පළමු ඡායාරූප ටික එළියට එද්දීම ගොඩක් අය මට සුබ පැතුවා. හැමෝම වගේ කිව්වා ආයෙත් ෆීල්ඩ් එකට ආපු  එක හොඳයි කියලා. අනෙක මම හිතනවා 2011ට වඩා 2017දී හොඳ පිළිගැනීමක් තියෙනවා කියලා. 

අවුරුදු හයක් ෆීල්ඩ් එකේ ඉන්නේ නැතිව පැජන්ට් එකකට ඇවිත් ජයග්‍රහණයක් ලැබුණම ඔබට චෝදනා එල්ල වුණේ නැත්ද?
චෝදනා එල්ල වුණා කියන්නේ මෙහෙමයි... මගේ මූණට කවුරුත් කියන්නේ නෑ... ඒත් මං හිතනවා තැනින් තැන මට බණිනවා ඇති කියලා මං හිතනවා. මං ඒවා ගණන් ගන්නේ නැහැ... මොකද ඒවා මගේ ඇඟේ වදින්නේ නැහැනේ. ෆීල්ඩ් එකෙන් ඈත් වෙලා හිටිය කියන්නේ මං ඉස්සරත් මොඩලින් එලවගෙන කළේ නෑ. දැනුත් එහෙමයි. මොඩලින් කියන්නේ මගේ විනෝදාංශයක්. මං මගේ දෙයක් ගොඩ නගාගෙන ඒ දේ මත තමයි මගේ ස්ථාවරත්වය තියෙන්නේ. මං ඇඩ්වර්ටයිසිං පැත්තේ වැඩක් සහ ටෙක්ස්ටයිල්ස් ෂොප් එකක් කරනවා. ඔය දෙකත් එක්ක තමයි මං මූලිකවම කාලය වැය කරලා කරන්නේ. ඊට අමතරව ලැබෙන කාලයකදී තමයි මොඩලින් කරන්නේ. ඕක ප්‍රශ්නයක් වුණොත් වෙන්නේ මොඩලින් කියන දේ රැකියාව වශයෙන් කරන අයටනේ. මට මේ වෙනකම් නම් කවුරුත් බැණලා නෑ. ඒත් මට ආරංචි වෙලා තියෙනවා.. අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියලා... ඒත් ඉතින් මගේ ඇඟේ වදින්නේ නැහැනේ.

ඔබ ලැබූ ජයග්‍රහණය ගැන කතා කළොත්.
මට මේ පැජන්ට් එකේදී මිනි ටයිටල්ස් දෙකක් ලැබුණා. එකක් තමයි Mrs Best Skin. අනෙක තමයි Mrs Best Figure. ඊට අමතරව මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් යුනිවර්ස් ෆ්‍රස්ට් රනර්ස්අප් සහ මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් ග්ලෝබ් කියන ටයිටල් එක. Best skin කියන එක ලැබීම ගොඩක් ලොකු ජයග්‍රහණයක් වෙන්න පුළුවන්. මොකද මම අවුරුදු හයකට පස්සේ ෆීල්ඩ් එකට ඇවිත් එවැනි ටයිටල් එකක් ලැබුණා කියන එකත් ලොකු දෙයක්. බබෙක් ලැබිලා මේ විදිහට ෆිගර් එක මේන්ටේන් කරගෙන ඉන්න පුළුවන් කියන එකත් ලොකු දෙයක්. මොකද මම ජීවිතෙට කවදාවත් ජිම් යන්නේ නැහැ. තවමත් මම ජිම් යන්නේ නෑ. ජිම් නොගිහින් තමයි මං මගේ වැඩ ටිකත් කරගෙන මගේ ෆිගර් එකත් තියාගෙන ඉන්නේ. ඒ පැජන්ට් එකේදි මට ලැබුණු මිනි ටයිටල් දෙකත් අනෙක් ජයග්‍රහණ දෙකත් මට ලොකු අභියෝගයක් අනිත් අයත් සමග බලන විට. 

ජයග්‍රහණය ලැබෙද්දි මොකද හිතුණේ. 
ගොඩක් සතුටුයි ඇත්තටම...  අපි හැමෝම දක්ෂයි වගේම කුමක් හෝ දෙයකින් ජයක් ලබන්නට නම් වාසනාවත් තියෙන්නේ ඕනි. ඉතින් මම හිතනවා මං දක්ෂයි වගේම මට වාසනාවත් තිබුණා කියලා. 

මෙච්චර ලොකු ජයක් ලැබූ තක්ෂලා කියන්නේ කවුද?
බොහෝම සරලව ජීවත් වෙන, බොහෝම සරලව හිතන චරිතයක්... ඒ වගේම අම්ම කෙනෙක්... ඒ වගේම හොඳ බිරිඳක්. 

නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ කොහොමද?
පොඩි කාලේ ඉඳන් ගොඩක් ආසව තිබුණේ රංගන ශිල්පිනියක් වෙන්න. නිරූපිකාවක් කිව්වොත් වැරදියි. ඉතින් ඒකට ඕනි විදිහට තමයි වැඩ කළේ. මම 2009දී ලයන්ස් ක්ලබ් එකෙන් කරන සිංහ කුමාරි එකට සහභාගි වෙලා එතැනින් දැන අඳුන ගත්ත අයගෙන උදව්වෙන් තමයි මං මේ ෆීල්ඩ් එකට එන්නේ. සිංහ කුමාරි එකේ ෆයිනල් ආවට ඒකෙන් ජයක් ලැබුණේ නෑ... ඊට පස්සේ තමයි 2011දී මම අනෙක් පැජන්ට් එකට සහභාගි වුණා. ඒකෙන් යම් ජයක් ලැබුවා. ඊට පස්සේ මගේ ව්‍යාපාරයක් ගොඩ නගා ගත්තා. ෆීල්ඩ් එකෙන් අයින් වුණා කිව්වට ඇත්තටම අයින් වුණේ නැහැ... මම ටෙලි නාට්‍යයක් ප්‍රඩියුස් කළා. ඩොකියුමන්ට්‍රියක් ප්‍රඩියුස් කලා. ඒ වගේ පොඩි පොඩි වැඩ කළා. තවදුරටත් රංගන ශිල්පිනියක් වෙන්න ඕනි කියන අදහස තවදුරටත් මගේ හිතේ නෑ. දැන් මගේ අරමුණ වෙන්නේ මගේම කියලා ව්‍යාපාරයක් කරලා රටටත් වැඩක් කරලා මටත් වැඩක් කරගෙන රටට බරක් නැතිව ජීවත් වෙන්න ඕන කියලා තමයි දැන් මං හිතන්නේ. 

මොඩලින් ගැන හැදෑරිමක් කළාද?
මං 2009 අවුරුද්දේ සාමාන්‍ය කරලා ඉන්න කාලේ පැජන්ට් එකට ඇවිත් පස්සේ උසස් පෙළත් කරලා සම්පූර්ණ පාඨමාලාවක් කළා. ඒ පාඨමාලාව කරලා තමයි මං මේ ෆීල්ඩ් එකට එන්නේ. 

මේ ගමනේදී උදව් කරපු අය ගැන කිව්වොත්. 
මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනි ටෙනිසන් කුරේ මහත්මයාට.... මොකද ඔහු තමයි මාව මුලින්ම ෆිල්ම එකකට ගත්තේ... ඊට පස්සේ ඔහු මාව අයැම් ශ්‍රී ලංකා කියන වේදිකා නාට්‍යයටත් ගත්තා. ඊට පස්සේ 2011 වසරේ මැරි කළාට පස්සෙත් මම අවුරුද්දක් විතර වැඩ කළා. ඒක නිසා මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ටෙනිසන් කුරේ මහත්තයට. ඊට පස්සේ ස්තුතිවන්ත වෙනවා නම් වශයෙන් නොකිව්වත් මට අද වන විටත් මේ ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් අය උදව් කරලා තියෙනවා. පසුගිය පැජන්ට් එකේදී මගේ බිකිනි පොටෝ ටිකක් අවුට් වෙලා ගොසිප් වෙබ් අඩවිවලින් සහ ෆේස්බුක් පිටුවලින් මට එළව එළවා පහරදුන්නා. එක එක අය එක එක දේවල් කියන්න ගත්තා. ඒ සියල්ල නිසා මම වැටිලා අඬ අඬ ඉන්න අවස්ථාවේදී මගේ හිත හදලා මට උදව් කළේ ෆීල්ඩ් එකේ ඉන්න අය කිව්වේ අපි ඕව ගණන් ගන්නේ නැහැ ඔයත් ගණන් ගන්න එපා... පැජන්ට් එකට තියෙන්නේ තව සතියයි තියෙන්නේ. ඕවා අමතක කරලා පැජනට් එක ගැන ඔළුව හදාගන්න කියලා. ෆීල්ඩ් එකේ අයගේ සහයෝගය ලැබුණත් වැඩක් නෑ මට මගේ පවුලෙන් සහයෝගයක් ලැබුණේ නැත්නම්... හස්බන්ඩ් සහ මම ගොඩක් අවබෝධයෙන් කටයුතු කරන්නේ. ඕනම කෙනෙක් එක්ක කතා බහ කරන්න, වැඩකටයුතු කරන්න අවසර දීලා තියෙනවා. හැබැයි එයා කියන්නේ මම වරදක් කරනවා නම් මම දැනගන්න ඕන මම වරදක් කරන්නේ සහ මට දීලා තියෙන නිදහසට පිටුපෑමක් කරන්නේ කියලා. ඒ අවබෝධය මත තමයි මම හැම දෙයක්ම කරන්නේ. මගේ චුටි පුතත් එහෙමයි. අම්මි යන්න එපා කියලා අඬන්නේ නෑ... පසුගිය පැජන්ට් එකට සහභාගි වෙලා අවසන් වෙනකම්ම කරදරයක් කළේ නෑ. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. 

ඉදිරියේදී මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයත් සමග රැඳී සිටීමටද නැත්නම් ඔයාගේ ව්‍යාපාරය කරගෙන ඉන්නද බලාපොරොත්තුව.
මං කොහොමත් 2017 නොවැම්බර් මාසයේදී චීනයේ පැවැත්වෙන මිසිස් ග්ලොබ් පැජන්ට් එකට සහභාගි වෙනවා. ඊට පස්සේ ලංකාව තුළ පැජන්ට්වලට සහභාගි වෙන්නේ නැහැ. දැන් ටයිටල් එකක් වින් කළානේ. දැන් මගේ ඒ ආසාව හරිනේ. මට තිබුණේ ටයිටල් එකක් වින් කර ගන්න පුළුවන් නම් මට හොඳයි කියලා.  ඒ වගේම මං ආසයි මගේ ව්‍යාපාරය තවත් දියුණු කරගෙන තවත් දියුණුවට යන්න ආසයි. ඒ වගේම මොඩලින් පැත්තෙන් මට කරන්න පුළුවන් හොඳ වැඩ ආවොත් මං කරනවා. නොකර ඉන්නේ නැහැ. 

මවක් ලෙසට මෙවැනි දෙයකට යොමු වීමේදී සමාජයෙන් එන චෝදනා ගැන මොකද කියන්නේ. 
මේ මොඩලින් ෆීල්ඩ් එකට එන සමහරක් අය නිසා තමයි සමාජය වැරදි ඇහැකින් බලන්නේ. ඇත්තටම කියනවා නම් මොඩලින් කියන දේ වැරදි දෙයක් නෙවෙයි. ලෝකේ හැම රටකම වගේ මොඩලින් තියෙනවානේ. ඒ සෑම රටකම මොඩලින් කරන අය දිහා බලන්නේ නැහැනේ වැරදි ඇහකින්. ඉතින් මම කියන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්න අයටත් අලුතින් එන්න ඉන්න අයටත් ෆීල්ඩ් එකේ නමට හානියක් නොවන විදිහට හැසිරෙනවා නම් සමාජය විසින් මොඩලින් ෆීල්ඩ් එකේ ඉන්න මොඩලර් කෙනෙක් දිහා වැරදි ඇහැකින් බලන්නේ නැහැ. අපි විසින්ම කරන වැරදි නිසා තමයි මොඩලින් කියන දේ වැරදි විදිහට බලන්නේ. ඉතින් මම හිතනවා තමන් කරන වෘත්තීය ගැන ගරුත්වයක් තියලා කටයුතු කරනවා නම් හොඳයි කියලා. 

ගම, පාසල සහ පවුලේ විස්තර ටිකක් කිව්වොත්
මගේ ගම බෙන්තර... මම පාසල් ගියේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයට. මගේ පවුලේ මට ඉන්නේ මල්ලි කෙනෙක්. මායි මල්ලියි විතරයි ඉන්නේ. මල්ලි රැකියාවක් කරනවා. තාත්තාත් රැකියාවක් කරනවා. අම්මා නම් ගෙදර ඉන්නේ. ඒ වගේම මගේ සැමියත් ව්‍යාපාරික කටයුතුවල නිරත වෙලා ඉන්නවා. 

පෞද්ගලික ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව මොකක්ද?
ම්ම්ම්... මං ආසයි මගේ බබාත් මං වගේම රටට බරක් නැතිව ජීවත් වෙන කෙනෙක් කරන්න. ඒ වගේම එයාට හොඳට උගන්වල, එයාගෙනුත් සමාජයට හොඳ දෙයක් කරන්න පුළුවන් නම් ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මගේ ජීවිතේ තිබුණු අනිත් සෑම බලාපොරොත්තුවක් ඉටු කරගෙන තියෙන්නේ... මගේ ආසාවක් තිබුණා රංගන ශිල්පිනියක් වෙන්න... ඒක කර ගත්ත, නිරූපණ ශිල්පිනියක් වුණා. මගේම කියලා ව්‍යාපාරයක් ගොඩ නගා ගන්න ආසාවක් තිබුණා. මං ඒකත් කළා. දැනට මං හොඳ බිරිඳක් හොඳ මවක් විදිහට මං ආසයි මගේ බබාව හොඳ තැනකට ගෙනියන්න. 

විශේෂයෙන්ම මතක් කළයුතු අය ගැන කිව්වොත්.
විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මගේ හොඳම යහළුවන්ට. ඒ වගේම මගේ ෆැමිලි දෙක... ඒ කියන්නේ මගේ පවුලේ අය සහ මගේ සැමියාගේ පවුලේ අයගේත් උදව් උපකාර නැත්නම් යහළුවන්ගේ උදව් උපකාර නැත්නම් තක්සලා කියලා චරිතයක් ගොඩනැගෙන්නේ නැහැ. මම ලොකු සල්ලිකාර පවුලක කෙනෙක් නෙවෙයි...  මගේ සැමියාත් ලොකු සල්ලිකාර පවුලක කෙනෙක් නෙවෙයි. අපි දෙන්නාගේ උත්සාහය නිසා තමයි මේ තත්ත්වයට ව්‍යාපාරික පැත්තෙන් අපි ඇවිත් තියෙන්නේ... ඒත් ඒකට එක එක අය එක එක කතා කියනවා. මං කියනවා කවුරුත් කියන දේවල් අහන්නේ නැතිව... ඔවුන්ගේ ඉතිහාසය ගැන බලලා ඔවුන් ගැන තීරණය කරනවා නම් හොඳයි කියලා මං  හිතනවා. දැනට ලංකාවේ වෙලා තියෙන්නේ කෙනෙක් කියන දේ තමයි තවත් කෙනෙක් අහන්නේ. ඒ නිසා තමයි චරිත ඝාතනයක් සිදුවෙන්නේ. ඇත්තටම පසුගිය කාලේ මගේ චරිත ඝාතනයකුත් වුණා. චෝදනාවක් එල්ල වුණා මං නාමල් එක්ක යාළුයි කිව්වා යෝෂිත එක්ක යාළුයි කිව්වා. ඇත්තටම මං ඒ කාත් එක්කවත් යාළු නැහැ. ඔවුන් යාළුවෝ... දන්නවා... එච්චරයි. එතැනින් එහාට මට එෆයාර් එකක් තියා ගන්න ඕනි නැහැ. මොකද මට හොඳ සැමියෙක් ඉන්නවා... මට බබෙක් ඉන්නවා. ඉතින් එහෙම එකේ මං කොහොමත් එහෙම චරිතයක් නෙවෙයි. අදටත් එක එක්කෙනා චෝදනා කරනවා. හැබැයි මම ඒවට විහිළුවෙන්ම උත්තරදීලා හැබැයි යාළුකම නැති කර ගන්නෙත් නැහැ. මං ඒ දේවල් කරන්නෙත් නැහැ. මං එහෙම චරිතයක්. හැබැයි මං කියන්න තියෙන දේ මූණට කියනවා. කොච්චර හොඳ යාළුවෙක් වුණත් එයා මට වරදක් කරලා තියෙනවා නම් මං ඒක එයාගේ මූණටම කියනවා. මං තැනින් තැන බණින ජාතියේ කෙනෙක් නෙවෙයි. ප්‍රශ්නයක් තියෙනවා නම් මූණටම කියලා බේරාගන්න එක තමයි මගේ ක්‍රමය. මං කෙළින් කතා කරන චරිතයක් ඒක නිසා මට යාළුවො අඩුයි.  
















I will not participate again in Sri Lanka to Modeling Pagents I will not participate again in Sri Lanka to Modeling Pagents Reviewed by Admin on 4:01 AM Rating: 5

No comments:

Powered by Blogger.