Chat with Asha Darshani

Views
සමාජ ජාල හරහා සමාජ සත්කාර කරන්න ගිහින් සමහරු අවංකවම ඒ වැඩේ කරනවා... සමහරු තමන්ගේ මඩිය තර කර ගන්නවා
ඔබ ගැන හැඳින්වීමක් කළොත්?

මම ආශා දර්ශනී විතානගේ. උපන්නේ දෙහිවල. දැනට ඉන්නේ බෙරැල්ලේ. වයස නම් 27ක් වෙනවා. මම එටිසලාට් ආයතනයේ සේවය කළා. එහෙත් දැනට එයින් ඉවත් වෙලා රංගනයට අවතීර්ණ වී සිටිනවා. අවුරුදු දෙකක් විතර නීති ප්‍රවේශයේ ඉගෙනුම ලැබුවා. ඒත් ලකුණු කිහිපයක් මදි වීම නිසා නීති විද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි වුණා. දැනට මහේන්ද්‍ර පෙරේරා ඇක්ටිං වර්ක්ෂොප් එකේ අවුරුදු දෙකක සිට රංගනය ගැන හදාරණවා. මේ දිනවල රංගන කටයුතු, හඬකැවීම් කටයුතු කරගෙන යනවා


ක්ෂේත්‍රයට ඇවිත් වැඩි කාලයක් නැහැ නේද?

ඔව්... අවුරුදු දෙකක් වගේ. මහේන්ද්‍ර පෙරේරා සර්ගේ ක්ලාස් එකට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. ඊට පස්සේ තමයි ඉතින් වැඩවලට සම්බන්ධ වුණේ.

ආශා.. මොඩල් කෙනෙක්ද? නැත්නම් රංගන ශිල්පිනියක්ද?

මම ෆොටෝ ෂූට්වලට සහභාගි වෙලා තියෙනවා. මං මොඩලින් ටාගට් කළේ නැහැ. මොකද මං මොඩලර් කෙනෙක් නෙවෙයි. ඇක්ට්‍රස් කියන තැන තමයි මට ඕන වුණේ. එම නිසා මම මහේන්ද්‍ර පෙරේරා සර්ගේ ක්ලාස් එකට ආවා. ආවට පස්සේ තමයි මං රංගනයට අවතීර්ණය වුණේ. 

මුල්ම රඟනය ගැන කිව්වොත් 

රංගන ශිල්පිනියක් ලෙස මුලින්ම සහභාගි වුණේ ලාල් ප්‍රියදේව සර්ගේ අප්පට සිරි කියන චිත්‍රපටයට තමයි සම්බන්ධු වුණේ. ඒත් තාම එය තවම තිරගත වුණේ නැහැ. එම නිසා මම රංගනයෙන් දායක වුණු මුල්ම රංගනය ලෙස සල් සපු නා කියන ටෙලි නාට්‍ය හඳුන්වන්න පුළුවන්. ඊට අමතරව චක්‍ර, ආදර අසපුව, පෝය නාට්‍ය, සෙවනැලි වැනි ටෙලි නාට්‍යවලටද රංගනයෙන් දායක වී සිටිනවා. එසේම ප්‍රියන්ත ප්‍රනාන්දු අධ්‍යක්ෂවරයාගේ ඉලංදාරි හැන්දෑව සහ ශ්‍රීපාලි හෙට්ටිආරච්චි අධ්‍යක්ෂවරයාගේ කෝකිල වංශය චිත්‍රපටයේ සංගීත ගුරුවරියකගේ චරිතයෙන් බලාගන්න පුළුවන්. ටෙලි නාට්‍ය සහ චිත්‍රපටයකට ආරාධනා ලැබී තිබෙනවා. ඉදිරියේදී ඒ පිළිබඳවත් දැනගන්න පුළුවන්. මේ දිනවල වේදිකා නාට්‍යවල නිරත වී සිටිනවා. 

මියුසික් වීඩියෝස්වලට වැඩි කැමැත්තක් නැද්ද? 

අකමැත්තක් නෑ... මං මේ වන විට එක් මියුසික් විඩියෝවකට දායක වී වෙලා තියෙනවා. හැබැයි මියුසික් වීඩියෝස්වලින් ඉස්සරහට යාමේ බලාපොරෙත්තුවක් නෑ.

ආශා මේ ක්ෂේත්‍රයට අවතීර්ණය වුණේ හැදෑරිමක් කරලාද? නැත්නම් ක්ෂේත්‍රය ඇවිත්ද හැදෑරිම කළේ?

මම මහේන්ද්‍ර සර්ගේ ක්ලාස් එකට ආවට පස්සේ තමයි මම රංගනයට ඇතුළු වුණේ. ඊට කලින් මම කිසිම රඟපෑමකට එක්වෙලා නැහැ. මං නම් කියන්නේ හැදෑරීමක් අනිවාර්යෙන්ම ඕනි. ප්‍රවීණ රංගන ශිල්පින් බොහෝමයක් හැදෑරිමක් කරලා නෙවෙයි ක්ෂේත්‍රයට ආවේ. ඒත් ඔවුන්ගේ ඇඟේ රංගනය තිබුණා. අපි ඒ අය දිහා බලලා අදටත් ඉගෙන ගන්නවා. අපි ඒගොල්ලෝ දිහා බලලා ඉගෙන ගන්න ගමන්ම හැදෑරිමක් ඕන වෙනවා. සමහර අය මේ ෆීල්ඩ් එකට ඇවිත් ආපු සැණින්ම නැති වෙන්නේ එයාලට කිසිම ඉලක්කයකව් නොමැති වීම කියලා මං හිතනවා. එයාලට රංගන ශිල්පියෙක් වෙන්න ටාගට් එකක් නැහැ... ඒ ටාගට් එක තියෙනවා නම් එයාලා ඉගෙන ගන්නවානේ. ඒක නිසා මං හිතනවා අපිට අනිවාර්යයෙන්ම හැදෑරිමක් ඕනි වෙනවා. මොකද ඒ තුළින් අපට අපේ අඩුපාඩු ගොඩක්හදාගන්න පුළුවන්. ඇත්තටම මහේන්ද්‍ර සර් යටතේ හැදෑරිම් සිදු කිරීමේදී මට තේරෙනවා අපේ පුංචි වැරද්දක් තිබුණත් එය හදනවා. අද මෙතැනදි හදන එක නිසා ලොකේෂන් එකට ගියාම අපිට බයක් නෑ. ඒත් මෙහෙම දෙයකුත් තියෙනවා... අපි කොච්චර ඉගෙන ගත්තත් අපේ ඇඟේ කලාව තියෙන්න ඕනි. ඒ නැතිව අපිට බලෙන් ඇඟට කලාව ඇතුළු කරන්න බැහැ. 

පවුලේ අයගෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්

රංගනයට අවතීරණය වීමට මට ගොඩක් උදව් කළේ මගේ අම්මා, තාත්තා, මගේ අක්කලා දෙන්න තමයි මට මේ තැනට එන්න මුලින්ම උදව් කළේ. ඒ වගේම ළහිරු නිෂාන් කියන සහෝදරයාට, එයා තමයි මට මේ ක්ෂේත්‍රයට එන්න මූලික අඩිතාලම දැම්මේ. ඒ වගේම සීතන් ගුණවර්ධන, සීතන් අදටත් මට ගොඩක් උදව් කරනවා. ඒ වගේම මගේ විශේෂම ස්තුතිය මම දෙන්න කැමතියි මහේන්ද්‍ර පෙරේරා ගුරුතුමාට. ඒක මං ඕනෑම තැනක කිසිම පැකිලීමකින් තොරව කියන්න කැමැතියි. මොකද එයා අපේ අඩුපාඩු හදනවා, අපි මෙතැනට ගෙනත් තියනවා. ඉස්සරහට අපි දන්නවා අපිත් එක්ක ඉන්නවා කියලා. තව නම් නොකිව් බොහෝ පිරිසක් ඉන්නවා. අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරුන් ආදීන්. ඉතින් ඒ සියලු දෙනාටම ස්තුති කරන්න කැමැතියි. 

වෘත්තිය රංගන ශිල්පිනියක් වීමටද බලාපොරොත්තුව. නැත්නම් වෙනත් වෘත්තියක නියැලීමට බලාපොරොත්තු වෙනවාද?

නෑ... වෘත්තීය රංගන ශිල්පිනියක් වෙන්න තමයි මගේ අදහස... වෙනත් කිසිම වෘත්තියක නියැලෙන්නේ නැති වෙයි. මං කලිනුත් කිව්වේ එටිසලාට් ආයතනයේ ඉඳලා අයින් වුණා කියලා. මොකද රංගනය සමග සිටිනවා නම් වෙනත් වෘත්තීයක් කරන්න බැරි වෙයි. රංගනයේ නිරත වෙලා නමක් හදාගෙන වෙනත් වෘත්තියක යෙදෙන අය ඉන්නවා. හැබැයි මම හිතන විදිහට වෙනත් වෘත්තියක් සමග රංගනය කරන්න ආමරුයි. එහෙම නම් ඉතින් රංගනය පාට් ටයිම් තියා ගන්න ඕන. මොකද මම රංගනයට ඒ තරම් ආසයි, ආදරෙයි. ඒ නිසා මම වෙනත් වෘත්තියකට පිවිසෙන එකක් නැහැ. මං වෘත්තිය රංගන ශිල්පිනියක් තමයි. 

රංගනයේදී ඔයාගේ කැමැති පැත්තක් තියෙනවද? නැත්නම් ලැබෙන ඕනෑම චරිතයක් කරන කෙනෙක්ද? 

මෙහෙමයි... රංගන ශිල්පිනියෙක් කිව්වම මම හිතනවා ඕනෑම චරිතයක් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒත් ඉතින් සමහර චරිත තියෙනවා, චරිතයේ අවුලක් නැහැ... ඒත් එහි රංගනයේ යෙදෙන විට අපට පෙන්විය හැකි සීමා මායිම් තියෙනවා. ඒ කියන්නේ කැමරාවක් ඉදිරියේ අපට පෙන්විය හැකි සීමාවක් තියෙනවා. ඒ සිමාව තුළ සිට ඕනිම චරිතයක් නිරූපණය කිරීමට මම කැමැතියි. ඒ වගේම කොස්ටියුම්ස් ගැනත් ටිකක් හිතනවා. මං වැඩිපුරම සම්භාවය ඝණයේ ඒවාට තමයි වැඩියෙන් කැමැති. විහිළු චරිත, බැරෑරුම් චරිත, ආදර චරිත වගේ ඕනෑම එකකට කැමැතියි. ඒත් මං වැඩියෙන්ම කැමැති ඇතුළෙන් වැඩියෙන්ම හිතන්න තියෙන ඇතුළාන්තයක් තියෙන චරිතවලට වැඩියෙන් කැමැතියි. අනෙක් දේවල් නොකරනවා නෙවෙයි. මගේ චරිතයට හානියක් නොවන පරිදි ඕනෑම චරිතයක් කරන්න කැමැතියි. මං කැමැති නැහැ ඇතැම් චරිතවලට ඇඟිල්ල දික් කරන්න කැමැති නැහැ. නම කැතවෙන සමහර චරිත බොහෝ කාලයක් තිස්සේ ආවනේ. සමහරක් චරිත... මම නම් වශයෙන් කියන්නේ නැහැ.. මොකද ඒ කිසි කෙනෙක් එක්ක මගේ පෞද්ගලික තරහක් නැති නිසා. ඒ කියන්නේ මගේ නමට හානියක් නොවන මගේ දෙමාපියන්ගේ නමට හානියක් නොවන ඕනෑම චරිතයක් කරන්න මං පැකිළෙන්නේ නැහැ. කොහොම වුණත් කරන දෙයක් යම් සීමාවක් තුළ කරන්න ඕන කියලා. 

රංගනයේදී සිදු වුණු අමතක නොවන දේ මොනවද?

උදේ හයට ෂූටින් එන්න කියලා... හවස හයට හය හමාරට ෂූටින් ටිකට ෆේස් කරලා තියෙනවා. ඒව තමයි ඉතින් අමතක නොවන දේවල් විදිහට තියෙන්නේ. 

ඊට අමතරව මෙතැනදි විශේෂයෙන්ම කියන්න ඕන සමහර ලෝකේෂන්වලදී අලුතෙන් එන රංගන ශිල්පියෙකුට ශිල්පිනියකට කිසිම ආකාරයක පීඩනයක් නැහැ. එහෙත් සමහර ලොකේෂ්න්වලට අලුතින් රංගන ශිල්පියෙක් ශිල්පිනියක් ආවම සමහරුන් එම නවක ශිල්පියා මානසිකව වට්ටනවා. ඒක නම් මහම මහ කැත වැඩක්. සමහරක් ලොකේෂන්වල සමහරක් අය අලුතෙන් එන නිළියන්ට සලකන්නේ හරිම පහත් විදිහට. ඒ නළුවගේ හෝ නිළියගේ මනස වට්ටනවා. ඒකට මං විරුද්ධයි. මොකද අද ඒ නවක නිළිය හෝ නළුවා හෙට හොඳ තැනක ඉන්න පුළුවන් කෙනෙක්. එහෙම මානසිකව වැට්ටවීම් හරි පහත් වැඩක්. මේ හේතුව නිසා ඇතමුන් රංගනය හැර යන අවස්ථාත් නැතුවාම නෙවෙයි. 

දැනට සිටින තැන ගැන තෘප්තිමත්ද?

ආපු පොඩි දුරේදී ලැබූ දේ ගැන තෘප්තිමත්. එත් මීට වඩා දේවල් කරන්න තියෙනවා.

ඇතමුන් චෝදනා කරනවා නවකයන් නිසා ක්ෂේත්‍රය කඩා වැටීමකට ලක්වෙනවා කියලා.

මෙහෙමයි ඒක දෙපැත්තක් තියෙනවා. සමහර නවකයන් නිසා නම් සිදුවෙන්න පුළුවන්. මේ කියන කාරණය මොඩලින් ක්ෂේත්‍රයෙත් තියෙනවා. මොකද සමහරු හිතනවා එක ෆොටෝ ෂූට් එකක් කරනවා, එක රංගනයක නිරත වෙනවා ඊට පස්සේ ලොකු ලොකු කතා කියනවා. එවැනි අය නිසා මේ ක්ෂේත්‍ර දෙකම කඩා වැටෙන්න ඉඩ තියෙනවා. 


ආදරය ගැන මොකද හිතන්නේ. 

ආදරය... සුන්දරයි.. විටක දුකත් විටක සතුටටත් ලැබෙනවා. ඇත්තටම අපේ අම්මා තාත්තාගෙන් ලැබෙන ආදරය කිසිම මොහොතක අමතක කරන්න බැහැ. මං හිතන්නේ නැහැ අවුරුදු ගණනකාවක් බලාගන්න අපේ දෙමාපියන් ලබාදෙන ආදරය, දවසකින් දෙකකින් හඳුන ගන්න කෙනෙක් අපි ලබාදෙයි කියලා මං නම් හිතන්නේම නැහැ. ඇත්තටම ආදරය කරලා විවාහ වී සිටින අය ඉන්නවා. ඒත් ඒ ගොල්ලෝ විවාහයෙන් පස්සේ කියන සමහර කතා ඇහුවම මැරේජ් ලයිෆ් එකත් එපා වෙනවා.

ම්ම්ම්ම්... මේ දවස්වල නම් මං ආදරවන්තියක්. වැඩි විස්තර පසුව කියන්නම්. 


පාසල් ප්‍රේමය ගැන මොකද හිතන්නේ... අත්දැකීම් එහෙම තියෙනවද?

පාසල් කාලයේදී නම් මම පෙම්වතියක් නෙවෙයි. ඒත් අනුන්ගේ ආදර සම්බන්ධතාවලට උදව් කරලා තියෙනවා. ඒ කියන්නේ ආදරය වෙනුවෙන් ඔත්තු සේවයේ යෙදිලා තියෙනවා. ඒත් මම පාසලේ ශිෂ්‍ය නායිකාවක් වුණාට පස්සේ මේ සියල්ලම නතර කළා. මගේ පාසල වූ ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලයේ සහ නැදිමාල ශ්‍රී ඛේමානන්ද දහම් පාසල යන දෙකේම ශිෂ්‍ය නායක ධුරය ලැබුණා. ඛේමානන්ද දහම්පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙස කටයුතු කළා. ඒ කාලය තුළ පාසල් පෙම්වතුන්ගේ ප්‍රධානම හතරෙක් වුණේ මම කිව්වොත් හරි කියලා මට හිතෙනවා. මොකද මම ශිෂ්‍යනායිකාවක් විදිහට ඒවාට විරුද්ධ වුණා. මොකද මම කළේ එවැනි අයට උදව් කිරීම නොවෙයි. එවැනි දේ විදුහල්පතිට අල්ලා දීම. මොකද ඒක මගේ විෂය පථය වුණ නිසා. ඇත්තටම පාසල් ප්‍රේමය කියන්නේ හරි බොළඳ දෙයක්. 

සමාජ ජාල හරහා සිදුවන සමාජ සත්කාර ගැන දරණ මතය කුමක්ද? 

සමහර අය සමහර ආයතන ඇත්තටම අවංකව සත්කාර කරනවා. සමහර අය ඇත්තටම කිව්වොත් උදව් කරලා ඒ ගොල්ලෝ යටි මඩ ගහ ගන්න අවස්ථාත් තියෙනවා. මෙහෙමයි එක පැත්තකින් ගත්තොත් ඒක හොඳයි. ඇත්තටම ඒගොල්ලෝ උදව් කරනවානේ. මෙහෙයි ඉතින් ඕක ෆිෆ්ටි ෆිෆ්ටි යනවා. භාගෙට භාගෙයක් හොඳක් තියෙනවා... මම අනිත් පැත්තෙන් අවාසිදායක තත්ත්වයකුත් දකිනවා. ෆේස්බුක් හරහා නම් සමාජ සත්කාරයකට සහභාගි වෙලා නෑ. මොකද විශ්වාසයක් නැතිකම. දන්නේ නැහැනේ අපි... ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ආවත් අපි දන්නේ නැහැනේ ෆේක්ද කියලා. අපිට විශ්වාස කරන්න බෑ. වැඩකට කතා කලත් ෆොටෝ එකක් දැකලා... කවදාවත් ෆොටෝ එකක් ෆේස්බුක් හරහා යනවා අඩුයි.විශ්වාසවන්තම කෙනෙක්ට විතරයි යැව්වත් යවන්නේ. ෆේස්බුක් එකේ දන්න අයට වඩා නොදන්න අයට වැඩියි. ඒත් සමහර ආයතනවලින්, එක එක මාධ්‍ය ආයතනවලින් සමාජ සත්කාර කරනවා. ඒවාට නම් උදව් කරනවා. ඊට අමතරව ෆේස්බුක් හරහා මං සමාජ සත්කාර කරලා නැහැ. ඒත් මං පෞද්ගලික උදව් කරනවා. 

සමාජ ජාල හරහා හොඳ අය වගේම නරක අය හමුවෙලා ඇති... ඒ පිළිබඳ අත්දැකීම් කොහොමද?

සමාජ ජාල හරහා හොඳ අය වගේම නරක අය හමුවෙලා ඇති... ඒ පිළිබඳ අත්දැකීම් කොහොමද? මෙහෙමයි... සමහරු මුලින් අපිට ආදරෙයි කියාගෙන එනවා. සමහර අවස්ථාවලදී එහෙම කියාගෙන ඇවිත් පස්සේදී අපි ඊට ප්‍රතිචාර දැක්වූවේ නැති වුණාම තර්ජනය කරනවා. බනිනවා. එහෙම අවස්ථාවත් තියෙනවා. ඒ වගේ තර්ජන කරන අය ගොඩක් මුණ ගැහිලා තියෙනවා. අපි කොට ඇඳුමක් ඇදලා ෆොටෝ එකක් දැම්ම ගමන් හිතන්නේ අපි ගැන වැරදියට .. ඒක තමයි මේ සමාජයේ හැටි... මේ සමාජයේ දිග ඇඳුමක් ඇඳලා ෆොටෝ එකක් දැම්ම හිතන්නේ ඒ කෙල්ල වැදගත් කියලා..ඒත් ඒක වෙන්න බෑ කියටවත්. ඇඳුමෙන් මිනිස්සු මනින්න බෑ.. මම දකින්නේ එහෙමයි. හැමෝම නෙවෙයි මං කියන්නේ. බොහෝ අය ඇඟවහගෙන කරන්න තියෙන ඔක්කොම වැඩ කරනවා.

දේශපාලනය ගැන ඔබේ මතය කුමක්ද?

ඕක කියන්න ගිහිල්ල හෙට මාව උස්සයිද දන්නෙත් නෑ.... 

ලංකාවේ දේශපාලනයක් නැහැනේ... ඕක ගැන කියන්න කැමැතිත් නෑ... පක්ෂ භේදයක් නෑ... හොඳයි කියලා පැත්තකට උදව් කරනවා... ඒත් ඉතින් මං කාටවත් ඡන්දෙ නම් දෙන්නේ නෑ... කලින් දීපු කාලයක් තිබුණා. දැන් නම් දෙන්නේ නෑ... ලංකාවේ දේශපාලනයක් තියෙනවා. ඒ දේශපාලනය, සමහරක් අය ගැන කියන්නේ... දේශපාලනය නෙවෙයි තමන්ගේ පොකැට්ටුව තමයි පාලනය කරන්නේ. ඉතින් එතැනින් එහාට කියන්න දෙයක් නෑ... සමහර අය හොඳයි... ඒත් හොඳ මිනිස්සුන්ට ඉස්සරහට එන්න විදිහක් නෑ.. දේශපාලනය ගැන මොකුත් කියන්නේ නෑ... මොකද මගේ අම්මලාට මාව ඕනි.

මොනවද අනාගත බලාපොරොත්තු

හොඳ නිර්මාණවලට දායාක වෙලා හැකියාව පෙන්වන්න තමයි බලාපොරොත්තු වෙලා ඉන්නේ. දැනට හොඳ නිර්මාණ රැසකට ආරාධනා ලැබිලා තියෙනෙවා. ඒවාට සම්බන්ධ වෙන්න තමයි බලාපොරොත්තුව. ජීවිතේ බලාපොරොත්තුව තමයි හොඳ රංගන ශිල්පිනියක් වෙන්න තමයි බලාපොරොත්තුව. 









Chat with Asha Darshani Chat with Asha Darshani Reviewed by Admin on 4:16 AM Rating: 5

No comments:

Powered by Blogger.