Gossip Chat with Junior Super Stars announcer Heshan Mallawa

Views
කොන්දොස්තර මහත්තයෙක් අම්බලන්ගොඩ ටවුම මැදදි මාව ඉඹගෙන ඉඹගෙන ගියා... 



සිරස ටී.වී. ඔස්සේ විකාශය වූ ජනඅසුන වැඩසටහන මෙහෙයවමින් ප්‍රේක්ෂක හදවත්වලට සමීපව රෙඩ් මයික් වැඩසටහනෙන් ජනතාවගේ හදවත් තුළ ලැඟුම් ගත් ආදරණීය තරුණයෙක් තමයි  හේෂාන් මල්ලව... මේ දිනවල සිරස ටී.වී. ඔස්සේ විකාශය වන රෙඩ් මයික් වැඩසටහනට අමතරව ජූනියර් සුපර් ස්ටාර්ස් තරගාවලියේද නිවේදන ශිල්පියාගේ භූමිකාවට පණ පොවන හේෂාන් අද සිරසගොසිප් කතා බහට එක් කර ගත්තා. මේ හේෂාන් සමග සිදු කළ සාකච්ඡාව ඇසුරෙන් සැකසුණු ලිපියකි. 


සිරස ටී.වී. රෙඩ් මයික් වැඩසටහනට අමතරව අලුත් වැඩකට අතගහලා කියලා ආරංචියි. මොකක්ද මේ අලුත් වැඩේ... කියමුද බලන්න විස්තර ටිකක්.
ඒ තමයි සිරස ජූනියර් සුපර් ස්ටාර්ස්... මේ දක්වා ලංකා ඉතිහාසයේ රියැලටි වැඩසටහන් පටන් ගත්තේ සිරස ටී.වී. එක. අපි දැක්කා ගොඩක් වෙලාවට තරුණයන්ට මෙම සිරස සුපර් ස්ටාර්ස් තිබුණේ. ඒ හරහා ගොඩක් මාධ්‍ය නාලිකා එවැනි තරුණයන් ඉදිරියට ගෙන ඒමට කටයුතු කළා. මෙම වැඩසටහන පොඩිම අයටත් නෙවෙයි තරුණයන්ටත් නෙවෙයි... ඒ අතර සිටින පිරිස වෙනුවෙන් කරන වැඩසටහනක්. ඒ කියන්නේ ටීනේජර්ස්ලා වෙනුවෙන් කරන වැඩසටහනක්... ලංකාවේ පළමු වතාවට තමයි මේ ටීනේජර්ස්ලා වෙනුවෙන් රියැලටි වැඩසටහනක් කරන්නේ. මට එහි පූර්ක ලෙස කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. මගේ තව සහායිකාවක් සිටිනවා ටනාෂා... එයත් එක්ක තමයි මේ වැඩසටහන ගෙනියන්නේ. පොඩි කාලේ සිටම සිරස රියැලටි පටන් ගත් දවසේ සිට පළමුවෙන්ම නිවේදන ශිල්පියෙක් විදිහට දකින්නේ කමල් අද්දරආරච්චි මහතා. මොකද ඒ දවස්වල පාසල් වේදිකාවේ සුපර් ස්ටාර්ස් කරනවා. 
සිරස සුපර් ස්ටාර්ස් දෙවන වටයේදී දිනන්නේ ප්‍රදීප් රංගන... ඊට පස්සේ මට ඔය හීනේ තිබිලා තිබිලා නිවේදකයෙක් වෙන්න... ඒ කියන්නේ පළමුවෙන්ම වෙන්නේ රඟපාන එක... නිවේදකයෙක් වෙන්න තිබූ හීනය තිබිලා අවුරුදු පහක් හයක් ඇතුළත ඒ ටාගට් එකමට මම යනවා. එතකොට එදා සීසන් ටූ එකේදී ජයග්‍රහණය කරපු ප්‍රදීප් රංගන මේ වැඩසටහනේ විනිශ්චයකරුවෙක් විදිහට ඉන්නවා. ඒක තමයි විශේෂම දේ... මොකද මං කවද හරි සුපර් ස්ටාර්ස් වැඩසටහනක් නිවේදනය කරනවා කියලා මගේ හීනයක් තිබුණා. ඒ හීනය සැබෑ වන වෙලාවේ මම ආසම කරන, මගේ වීරයෙක් මම නිවේදනය කරන වැඩසටහන විනිශ්චයකරුවෙක් විදිහට ඉන්නවා කියන එක ගොඩක් සතුටුයි. 

රෙඩ් මයික් වැඩසටහන සහ ජූනියර් සුපර් ස්ටාර්ස් වැඩසටහන කරගෙන යද්දී අභියෝගවලට මුහුණ පෑවේ කොහොමද?
නිවේදකයෙකුට සෑම වැඩසටහනක්ම අභියෝගයක්... මේ දෙකත් එක්ක බලද්දී අවුරුදු එක හමාරක් දෙකක් විතර රෙඩ් මයික් එක කරගෙන ඇවිත් එකවරම මෙවැනි වැඩසටහනක් කරන්න පටන් ගනිද්දී පොඩි තැතිගැන්මක් ආවා. මොකද රෙඩ් මයික් එක එළියට ගිහින් නිදහසේ කරන වැඩසටහනක්. නමුත් ජූනියර් සුපර් ස්ටාර් නිවේදනය කෙරෙන්නේ ස්ටූඩියෝ එකක් ඇතුළත්. ටීනේජර්ස්ලාත් එක්ක වැඩ කරන්න වෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවක පොඩි පොඩි අපහසුතා ආවා. ඒත් දැන් ඒ දේවල් හදාගෙන සාර්ථකව කරගෙන යනවා. 

නිවේදන කටයුතු ආරම්භ වන ආකාරය කොහොමද කියලා කියමුද?
මම නිවේදන කටයුතු ආරම්භ කරන්නේ පාසලෙන්. සිරස ටී.වී. එකට එන්න කලින් වෙනත් මාධ්‍ය ආයතන කිහිපයකම සේවය කළා. සිරස ටී.වී. එක තමයි ටර්නින් පොයින්ට් එක වෙන්නේ. 
සිරස සුපර් ස්ටාර්ස් මම බලන්නේ සීසන් 2 ඉඳලා... මම ගොඩක් ආදරය කරන කෙනෙක් තමයි කමල් අද්දරආරච්චි කියන්නේ. ඒ කියන්නේ එයාගේ ප්‍රසන්ටින් කලාවත් එක්ක මම දන්නේ නැහැ මට මොකද වුණේ කියලා... ඒ දවස්වල අපි පාසලේ සමිතිවලදී අපි සුපර් ස්ටාර්ස් තරග කරනවා. මම තමයි කමල් අද්දරආරච්චි මහතාගේ පාට් එක. එතකොට ප්‍රදීප් රංගනගේ සහ සුරේන්ද්‍රගෙයි චරිතවලටත්  මගේ යාළුවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනක් නම් දැන් ජීවතුන් අතර නැහැ. ඊට පස්සේ ඕක හීනයක් වෙලා හීනයක් වෙලා මම කණ්ණ්ඩිය ඉස්සරහට ගිහින් එයා වගේ කතා කරන්න පෙළඹෙනවා... ඔහොම ඔහොම ඉඳලා ඉඳලා අවුරුදු ගානකට පස්සේ මට ලැබෙන්නේ සජීවි වැඩසටහනක් කරන්න සිරස මෑන් හන්ට් ඇන්ඩ් ක්වීන්... මං දන්නේ නෑ මොකක්ද වුණේ කියලා... මම ඒ වැඩසටහනේ නිවේදකයාවත් නෙවෙයි.. මමයි ශෙහානි විජේතුංගයි තමයි ඒක ප්‍රසන්ට් කරන්නේ. ඊට පස්සේ අවුරුදු දෙක හමාරකට පස්සේ හීනයට ගියා කියලා හිතෙනවා. මගේ ඉලක්කයක් තියෙනවා කවද හරි  සිරස සුපර් ස්ටාර්ස් ප්‍රසන්ට් කරනවා කියලා. දැන් කොහොම හරි සිරස ජූනියර් සුපර් ස්ටාර්ස් ප්‍රසන්ට් කරනවා. වැඩේ කියන්න එදා දිනපු ප්‍රදීප් රංගන දැන් විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා. ඒක මාරම කතාව මට... ඒක මාරභාග්‍යයක්... එතරම් ආදරය කරපු කෙනෙක් විනිශ්චය මණ්ඩලයේ ඉද්දි ප්‍රසන්ට් කරන්න ලැබීම වාසනාවක් කියලා මම  හිතනවා. 

ඔබ මාධ්‍යවේදියෙක් විදිහටමද ක්ෂේත්‍රයට එන්නේ නැත්නම් වෙනත් කලා කටයුත්තකින්ද?
මම පාසල් කාලයේ සිටම වේදිකා නාට්‍ය කළේ. ඊට පස්සේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර ඩිප්ලෝමාවක් කළා නාට්‍ය හා රංග කලාව. මොකද පොඩි කාලේ ඉඳන්ම නළුවෙක් වෙන්නනේ හීනේ තිබුණේ. ඒ හීනෙට යන්න ගොඩක් දේවල් එකතු කර ගන්නවා මම... මහේන්ද්‍ර පෙරේරා, ප්‍රසන්නජිත් අබේසූරිය, කමල් පී අලහකෝන්... එහෙම ගොඩක් සර්ලත් එක්ක කටයුතු කරනවා නාට්‍ය අංශයෙන්... යම් ස්ථානයකදී මට දැනගන්න ලැබෙනවා එක්තරා නාලිකාවකට නිවේදකයෝ ගන්නවා කියලා. එතැනින් තමයි මම නිවේදනයට පිවිසෙන්නේ... පාසල් කාලයේ සිටම නිවේදන හැකියාව තිබුණත් වැඩි වශයෙන් වේදිකාවේ තමයි හිටියේ.  ඉතින් අදාළ සම්මුඛ පරීක්ෂණයෙන් මම සමත් වෙනවා... ඊට පස්සේ ඉතින් මම මගේ නිවේදකයෙක් වීමේ සැබෑ කරගන්නවා. එහෙමයි මම නිවේදනයට යොමු වුණේ.

හේෂාන් කියන්නේ වෘත්තීමය නිවේදන ශිල්පියෙක්ද?
ඔව්... වෘත්තිය නිවේදන ශිල්පියෙක්.

මෙතෙක් ආපු ගමන ගැන කිව්වොත්....
අම්මා, තාත්තා සහ නංගිගෙන් තමයි පළමු අඩිතලාම වැටුණේ.. ඔවුන් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනි.... මොකද ඒගොල්ලෝ නැත්නම් මම මේ වගේ තැනකට එන්නේ නැහැ... ඊට පස්සේ මගේ පාසලේ නාට්‍ය හා රංග කලා ගුරුතුමිය දර්ශි පණ්ඩිතරත්න. ඊට පස්සේ මම නාට්‍ය හා රංග කලාව වැඩිදුරටත් ඉගෙන ගැනීමට කමල් පී අලහකෝන් සර් ළඟට යනවා. එහිදී සිසිර කඩිකාර, ජීවන සූරියපටබැඳි... වැනි විශාල පිරිසක් මුණ ගැසෙනවා. ඒත් එක්කම මගේ ඉන්නවා හොඳ මිතුරුන් පිරිසක්.. නම් වශයෙන් කියනවා නම් නිර්මාල්, චින්තක වැනි විශාල මිතුරන් පිරිසක් ඉන්නවා. ඉන්පසු බාහිර ඩිප්ලෝමාවක් හදාරන්න සෞන්දර්ය කලා විශ්වවිදයාලයට ඇතුළත් වෙනවා. ඉන්පසුව මහේන්ද්‍ර පෙරේරා මහතාගේ වර්ක්ෂොප් වලට සහභාගි වෙනවා. 
ඉන්පසුව මාධ්‍ය නාලිකා කිහිපයකට සේවයට යනවා. එහිදී මට නිශ්ශංක මාදොළආරච්චි මහතා මුණ ගැසෙනවා. ඔහු තමයි මම නිවේදනය පැත්තට යොමු කරන්නේ. ඊට පසුව මට සද්ධාමංගල සූරියබණ්ඩාර මහතා හමුවෙනවා. එහිදී මගේ නිවේදන ජීවිතයේ වෙනස්කම් කිහිපයක් ඇති වෙනවා. ඉන්පසුව සිරස ටී.වී. එකට සම්බන්ධ වෙනවා. එහිදී මම කරන්නේ ජන අසුන කියන වැඩසටහන. ඒ වැඩසටහන තමයි ලංකාවේ පමණක් නොව ලොව පළමු දේශපාලන රියැලිටි වැඩසටහන. එහිදී එහි නිෂ්පාදක සමිත් බස්නායක මහතා හමුවෙනවා. ඒ වගේ සිරස නාලිකා ප්‍රධානි චන්දන සූරියබණ්ඩාර මහතා මුණගැසෙනවා. ඔහුත් මේ වෙලාවේ මතක් කළ යුතුමයි. ඉන්පසු මට එහිදී විශාල පිරිසක් මුණ ගැසෙනවා. 
සමන් අයියා, සුසන්ත අයියා වගේ විශාල පිරිසක්... මම නිවේදකයෙක් විදිහට බොහෝ පිරිසක් අඳුන ගන්නේ රෙඩ් මයික් වැඩසටහන හරහා... රෙඩ් මයික් වැඩසටහන් අධ්‍යක්ෂ ලිලාන් රත්නායක මහතා සිහිපත් කරනවා. එසේම දැනට කරන සිරස ජූනියර් සුපර් ස්ටාර් වැඩසටහනේ අධ්‍යක්ෂක සුසන්ත සෙනෙවිරත්න මහතාත් අනිවාර්යයෙන්ම මතක් කළ යුතුයි. ඒ වගේම මං මේ ආපු දුරට සහයෝගය දැක්වූ සිරස ටීවි ආයතනයේ කැමරා අංශය, මේකප් අංශය, ඉංජිනේරු අංශය, රථ වාහන ඇතුළු සියලුම අංශවලට ස්තුතිය පිරිනමනවා. තවත් ඉදිරියට ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. 

හේෂාන් කියන්නේ කවුද? 
හේෂාන් කියන්නේ කවුද?.... ඒක මාරම ප්‍රශ්නයක්... මොකද කතාවක් තියෙනවානේ තමන් ගැන කියන එක තමයි අමාරුම කියලා. ඕනම කෙනෙක් කැරකිලා අතාරින තැනක්. ඉතින් මම හිතනවා හේෂාන් කියන්නේ ටාගට්වලට බය නැති... ටාගට් එකක් දුන්නොත් හරියට ඒක කරන... අභියෝගවලට කැමැති... හැබැයි අභියෝගයක් කරන්න ගිහින් කාගේ හෝ වචනයකින් වුණත් හිත් රිදවීම් ඇතිවෙන ධෛර්යවන්ත කොල්ලෙක් කියලා කියන්න පුළුවන්. 

හේෂාන්ගේ ගම් පළාත් සහ පාසල ගැන කියමුද?
මගේ ගම මාතලේ... මගේ පාසල මාතලේ විජය විද්‍යාලය.

හේෂාන් මේ ක්ෂේත්‍රයට පිවිසිලා කොපමණ කාලයක් පමණ වෙනවද?
මගේ ගමන ආරම්භ වන්නේ 2007දී. දැනට හරියටම අවුරුදු 10ක් වෙනවා. 

සිරස ටී.වී. සමග සම්බන්ධ වන අවස්ථාවේ මේ වගේ දුරක් යන්න පුළුවන් වෙයි කියලා ඔබ විශ්වාස කළාද?
පළමුවෙන්ම මම සම්බන්ධ වෙද්දි මම හිතුවේ නෑ... සිරස ටී.වී. කියන්නේ ලංකාවේ අංක එකේ නාලිකාව කියලා පොඩි කාලේ ඉඳන්ම අපි දන්නවා... ඉතින් මම ඇත්තටම හිතුවේ නෑ මෙච්චර ලොකු ගමනක් යන්න අවස්ථාව ලැබෙයි කියලා. මට භාරදෙන වැඩේ මම හරියට කළා. ඒ වගේම මාව තේරුම් ගන්න මට ඒයාලාව තේරුම් ගන්න පුළුවන් හොඳ සහෝදර සහෝදරියන් පිරිසක් මුණ ගැසුණා. අන්න ඒ  දේ තුළින් තමයි මට මෙතෙරම් දුරක් එන්න පුළුවන් වුණේ. 

හේෂාන්ගේ වේදිකා නාට්‍ය ජීවිතය ගැනත් කතා කරමුද අපි.
ඔව් කතා කරමු... මෙහෙමයි... මම පාසලෙන් තමයි නාට්‍ය පැත්තට යොමු වන්නේ. එතකොට අපි පළාත් තරගවලට එකදිගට සහභාගි වෙනවා. ඒවායින් අපි ජයග්‍රහණ රැසක් ලබාගන්නවා. ඊට පස්සේ ඉතින් මැඩම් කියනවා පාසලෙන් ඉගන්වන්න තියෙන දේවල් උගන්වලා තියෙන්නේ දැන් අලුත් අලුත් දේවල් සොයාගෙන යන්න කියලා. ඒ අනුව තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ බාහිර ඩිප්ලෝමාවක් කරන්නේ. ඉන්පසු මහේන්ද්‍ර පෙරේරා මහතා මුණ ගැසෙනවා. ඉන්පසුව මගේම නිර්මාණ කරනවා. මගේ යාළුවන් සමග එකතු වෙලා කරන එවැනි නිර්මාණවලට පළාත් මට්ටමින් සම්මාන රැසක් ලැබී තිබෙනවා. ඒත් මේ වන විට වේදිකාවට පොඩි විවේකයක් දීලා තියෙන්නේ. නමුත් ඉදිරියේදී යළිත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. 

වේදිකාවෙන් ටෙලි නාට්‍ය පැත්තට යොමු වෙන්න අදහසක් නැත්ද?
සඳුන් රාජකරුණා මහතාගේ පැහැසරා කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. දැනටත් එහි එම චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා මේ වන විටත්. ඉතින් සඳුන් රාජකරුණා මහතාත් මේ අවස්ථාවේ ආදරයෙන් මතක් කරනවා. 

රෙඩ් මයික් වැඩසටහන කරද්දී සිදු වූ අමතක නොවනම සිදුවීමක් මතක් කළොත්....
අම්බලන්ගොඩදී තමයි ඇඟටම දැනිච්චි දේ සිදු වුණේ. බස් කොන්දොස්තරවරයෙක්... එයාගේ බිරිඳ තමයි රෙඩ් මයික් වැඩසටහන බලන්නේ... මේ කොන්දොස්තර මහත්තයා රෑවෙලා ගිහින් රිපීට් එක බලනවා. මෙයාගේ වයිෆ් මේ වැඩසටහන බලලා නිතරම විස්තරය කියනවලු. මම අම්බලන්ගොඩ වැඩසටහන කරමින් සිටියදී මේ කොන්දොස්තර මහත්තයා ඇවිත්  මාව බදාගෙන ඉඹගෙන ඉඹගෙන ගියා.... ඒ කියන්නේ මටත්  හිතාගන්න බෑ මොකක්ද වුණේ කියලා.... නිවේදකයෙක් විදිහට මටත් ඒ වෙලාවේ කරන්න ඕන මොකක්ද කියලා හිතා ගන්න බැරි වුණා.  පිරිසක් බලාගෙන ඉද්දි මේ විදිහට කෙනෙක් ඇවිත් ඉඹගෙන ඉඹගෙන යද්දි... ඒ කිව්වෙත් ඉඹලා මගේ නෝනාගේ ආදරේ... මගේ නෝනාගේ ආදරේ.... මගේ නෝනාගේ ආදරේ රෙඩ් මයික්... ඔයා යන් ගෙදර... අන්න මගේ සුද්දි ඔයා එනකම් බලාගෙන ඉන්නවා කියලා මගේ මූණ ඉඹගෙන ඉඹගෙන ගියා... ඒක තමයි ඇඟට දැනිච්ච එක...

මුහුණපාපු බාධක ගැන කිව්වොත්...
මෙහෙමයි... සමහරු ඉතින් ෂූට් කරන්න යද්දී අහනවා... ඔයාලා මේකට අවසර අරන්ද කරන්නේ.... ආදී නොයෙක් ආකාරයේ ප්‍රශ්න අහනවා ඇරෙන්න ලොකු බාධකවලට නම් මුහුණපාලා නැහැ. 

මේ වැඩසටහනේදී මගතොටදී තරුණ ගැහැනු ළමුන්ම කතාබහට අල්ලගන්නේ ඇයි?
ඒකට ලොකු චෝදනාවක් තියෙනවා... තරුණ ගැහැනු ළමයි අල්ල ගන්නවා කියලා. ඔතනදී කතාව වෙන්නේ අපේ රටේ සිටින කොල්ලෝ හරිම අකමැතියි කැමරාවක් ඉදිරියට එන්න... බොහොම අහම්බෙන් හමුවෙන තරුණයෝ ටිකක් තමයි එඩිට් කරලා දාන්නේ. පිරිමි ළමයි ගොඩාක් දුවනවා. කැමරාවට බයයි.. පිරිමි ළමයි දුවන හේතුව තමයි සමහර පිරිමි ළමයි ක්ලාස් කට් කරලා ඉන්නවා. ඊට පස්සේ ඒ වැඩසටහන විකාශය වෙන දවසෙදි අම්මා අහනවා කොහොමද මේකට පෙනී සිටියේ කියලා. එහෙම දේවලුත් වෙලා තියෙනවා. ක්ලාස් කට් කරන පිරිමි ළමයි තමයි දුවන්නේ. ගැහැනු ළමයි ඉතින් ක්ලාස් කට් කරන්නේ නැහැනේ බොහෝ දුරට. ගැහැනු ළමයි ඉතින් මොකක් හරි කරලා ෂේප් එකක් දානවා.   

ජූනියර් සුපර් ස්ටාර්ස් තරගාවලියේදී සිදු වූ අමතක නොවන දේවල් ගැන කතා කළොත්...
ජූනියර් සුපර් ස්ටාර්ස් වැඩසටහනේදී නම් දැකපු දේවල් කියන්නේ ගොඩක් සිදුවීම් තිබෙනවා. මුළු ලංකාවෙන්ම ළමයි 24 දෙනෙක් තෝරගත්තා... මේ ළමයි 24 දෙනාගෙන් එක එක්කෙනා කැපිලා කැපිලා යද්දි මමයි තනාෂයි අඩපු අවස්ථා තිබෙනවා. ඇඬිලා රෙකෝඩින් කර ගන්න බැරිව පැත්තකට වෙලා ඉඳපු අවස්ථා තිබිලා තියෙනවා. අන්න එහෙම අත්දැකීම් තමයි තියෙන්නේ... ඒ කිය්නනේ මෙයාලාත් එක්ක හොඳටම ෆිට් වෙලා ඉඳලා එක පාරට එක්කෙනක් එහෙම කැපිලා කැපිලා යද්දි පිරිමියෙක් විදිහට ඇඩුවේ නැතත් ඒ දැනෙන දේ වචනයට පෙරළන්න අමාරුයි. එතැනදි අපි ගොඩක් අසරණ වෙනවා ඒ වෙලාවේ. අන්න ඒ වගේ දේවල් තියෙනවා. 

ජූනියර් සුපර් ස්ටාර්ස් තරගයට සහභාගිවන තරගකරුවන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
ඇත්තටම එතැනදි ගොඩක් තරගකරුවෝ, ප්‍රේක්ෂකයෝ රෙඩ් මයික් ප්‍රේක්ෂකයෝ...  එතැනදි මට පුදුම සහයෝගයක් දෙනවා වගේම මං දන්නේ නෑ මගේ තියෙන මොන දෙයක්ද කියලා... බොහෝ පිරිසක් ආදරය කරනවා කියලා දැනෙනවා... ඒ නිසාමදෝ මන්ද එතැනදිත් ඒ දරුවන් මට කතා කරන්නේ රෙඩ් මයික් මාමා කියලා.. එයාලාගේ තියෙන ඕනෑම දෙයක් කතා කරනවා. ඔවුන් බයක් නැහැ එහෙම ඇවිත් කතා කරන්න. මං දන්නේ නෑ ඒ ඇයි කියලා... මට ඒක තවම විග්‍රහ කරගන්න අමාරුයි. මේ තරගකරුවන් හඳුනා ගැනීමට රෙඩ් මයික් වැඩසටහනක් යම් පිටුවහලක් වුණා කියලා මට හිතෙනවා. 

හේෂාන් ආදරය ගැන මොකද හිතන්නේ.
ආදරය කියන්නේ මාර දෙයක්.... අවුරුදු විසි ගණනක් වෙන තරුණයෙක්ට ඔය දේ නොතිබුණොත් බොරුවක්නේ... එයත් ගොඩක් උදව් කරනවා මේ වැඩේට... එයත් පැත්තක ඉඳලා බලන් ඉන්නවා... වෙලාවකට ඔරොප්පු වෙනවා....

ඇය මේ ක්ෂේත්‍රයේම අයෙක්ද? නැත්නම් වෙනත් ක්ෂේත්‍රයකද?
මුලින් මුලින් හිටියා... ඊට පස්සේ එයාම තීරණයකට ආවා... එන්නේ නෑ ෆීල්ඩ් එකට... මොකද දෙන්නම එකම ෆීල්ඩ් එකේ හිටියොත් මේක කරගන්න වෙන්නේ නැහැ කියලා. ඇය මට මුණ ගැහෙන්නේ පාසල් සමයේදී. ඇය මට වඩා දක්ෂතාවයක් සහිත කෙනෙක්... 

අනාගත ඉලක්කය කුමක්ද? 
පොඩි කාලේ ඉඳන්ම ඉලක්ක රැසක් තිබුණ කෙනෙක් මම... පාසල් යන කාලේ ක්‍රිකටර් කෙනෙක් වෙන්න හිටියේ... අවුරුදු පහක් ක්‍රිකට් ගැහුවා... අවුරුදු හතරක්ම රිසව් හිටියේ... අන්තිම අවුරුද්දේ ක්‍රිකට් ගැහුවා. ඊට පස්සේ රංගන ශිල්පියෙක් වෙන්න හිතුවා... ඒත් කොහෙන් කොහෙන් හරි කැරකිලා නිවේදකයෙක් වුණා... දැන් නිවේදකයෙක් විදිහට ලංකාව ආදරය කරනවා. නිවේදකයෙක් විදිහට ඉදිරියටම යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අනාගතයේදී රංගන ශිල්පියෙක් විදිහටත් දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා ටෙලි නාට්‍ය සහ චිත්‍රපට හරහා... ඒත් මම දන්නේ නැහැ කොච්චර දුරකට යන්න පුළුවන් වෙයිද කියලා. ඒත්  මම හිතනවා මම නළුවට වැඩිය නිවේදකයාට ගොඩක් ආදරෙයි කියලා. 






Gossip Chat with Junior Super Stars announcer Heshan Mallawa Gossip Chat with Junior Super Stars announcer Heshan Mallawa Reviewed by Admin on 12:25 AM Rating: 5

No comments:

Powered by Blogger.